යෙසායා 41:25-29
යෙසායා 41:25-29 SCV
“උතුරෙන් කෙනකු මම පෙලඹවීමි. හිරු නැග්මේ සිට ඔහු ඇවිත් සිටී. ඔහු මගේ නාමය කියා යදින්නෙකි. කුඹල්කරු මැටි පාගන්නා සේ, ඔහු රාජ්‍ය-පාලකයින් මැටි-බදාම සේ පාගා දමයි. අප දැනගන්නා පිණිස, මුල පටන් එය ප්‍රකාශ කළේ කවුරු ද? ‘ඔහු හරි යැ’ යි අපට කිව හැකි වන පිණිස, කල්තියා ම එය ප්‍රකාශ කළේ කවුරු ද? සැබවින් ම එසේ කී කෙනකු නැත. කිසිවකු එය ප්‍රකාශ කර නැත. ඔබේ වචන ඇසූ කෙනකු ද නැත. ‘මෙන්න ඔවුන්!’ යැයි සියොනට මුලින් ම කියන්නේ මම ය. සුබ ආරංචි පණිවුඩකරුවකු යෙරුසලමට දෙන්නේ මම ය. එහෙත් මා බැලූ කල, කිසිවකු එහි නැත. මා ඇසූ කල උපදෙසක් දීමට ඔවුන් අතර කිසිවකු නැත. බලන්න! ඒ සියල්ලන් ම මායාවකි. ඔවුන්ගේ වැඩ නිෂ්ඵල ය. ඔවුන්ගේ ලෝහ පිළිම හිස්-සුළඟකි.

