යෙසායා 41:11-16
යෙසායා 41:11-16 SCV
ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන් ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත. ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්, නැත්තට නැති වී, විනාශ වී යනු ඇත. ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු, ඔබට ඔවුන් හමු නො වේ. ඔබට එරෙහිව යුද වදින්නන්, නිකමුන් වැන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය. භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව, එම්බා ඉශ්‍රායෙල් මිනිසුනි, ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. මෙන්න! මම මුවහත්, දැති රාශියක් ඇති අලුත් ගොයම් මඩින යන්ත්‍රයක් ඔබගෙන් සාදන්නෙමි. ඔබ, කඳු මැඩ, ඒවා තලා, පොඩිකර, හෙල්, බොල් පොතු බවට පමුණුවනු ඇත. ඔබ ඒවා පොළනු ඇත; සුළඟ ඒවා ඉවත ගසා ගෙන යනු ඇත. සැඩ සුළඟ ඒවා විසුරුවා දමයි. ස්වාමින්වහන්සේ තුළ ඔබ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ තුළ ඔබ උදම් අනනු ඇත.

