යෙසායා 40:9-18

යෙසායා 40:9-18 SCV

ඔබ, උස කන්දකට නගින්න එම්බා සියොන, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. ඔබේ කටහඬින් ශක්තිමත් ව මොර හඬ නගන්න. එම්බා යෙරුසලම, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. උස් හඬ නගන්න. භය නො වන්න. “මෙන්න ඔබේ දෙවියන්වහන්සේ!” යි යූදා නගරවලට පවසන්න. මෙන්න! පරමාධිපති ස්වාමින්වහන්සේ බලයෙන් යුතු ව එන සේක. උන්වහන්සේගේ බාහුව උන්වහන්සේ වෙනුවෙන් පාලනයෙහි යෙදෙයි. මෙන්න! උන්වහන්සේගේ ඉටු විපාක උන්වහන්සේ සමඟ ය. උන්වහන්සේගේ පල විපාක උන්වහන්සේ අබියස ය. එඬේරකු මෙන් උන්වහන්සේ තම රංචුව රැක බලාගන්නා සේක: උන්වහන්සේ බැටළු පැටවුන් දෝතට ගෙන, පපුවට තද කර ගෙන යමින්, ගැබ්බර දෙනුන් සෙමෙන් දක්කාගෙන යන සේක. මුහුදේ ජලය තම අත්ලෙන් මැන්නේ කවුරු ද? අහසේ දිග පළල තම වියතින් ලකුණු කළේ කවුරු ද? පොළොවේ දූවිලි, හුණ්ඩුවක දමා ගත්තේ කවුරු ද? තරාදියකින් කඳු ද තුලාවකින් හෙල් ද කිරා බැලුවේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ට මග පෙන්වූයේ කවරෙක් ද? උන්වහන්සේගේ උපදේශකයා සේ උන්වහන්සේට උපදෙස් දුන්නේ කවරෙක් ද? අවබෝධය ලැබීමට උන්වහන්සේ උපදෙස් ගත්තේ කවරකුගෙන් ද? උන්වහන්සේට යුක්තියේ මාවත් ඉගැන්වූයේ කවුරු ද? උන්වහන්සේට දැනගැන්ම ඉගැන්වූයේ කවරෙක් ද? නොහොත් තේරුම්ගැන්මේ මාර්ගය උන්වහන්සේට පෙන්වා දුන්නේ කවුරු ද? සැබවින් ම! ජාතීන් බාල්දියක දිය බිඳුවක් වැන්න. ඔවුන් ගැනෙන්නේ තරාදියක දූවිලි පරිද්දෙනි. මෙන්න, උන්වහන්සේ දිවයින් කිරා බලන්නේ, ඒවා සිහින් දූලි පොදක් සේ ඔසවමිනි. පූජාසනය ඇවිළීමට, ලෙබනොන් වනයේ ගස් මදි ය. දවන යාග පූජාවකට, එහි මෘගයින් ද ප්‍රමාණවත් නැත. උන්වහන්සේ ඉදිරියෙහි සියලු ජාතීන් ශූන්‍යතාව වැන්න. ඔවුන් ගණන් ගනු ලැබ ඇත්තේ, කිසිදු වටිනාකමක් නැතියවුන් සේ බිංදුවටත් අඩු ලංසුවෙනි. එසේ නම් ඔබ, දෙවියන්වහන්සේ සසඳන්නේ කවරකුට ද? ඔබ උන්වහන්සේ සම කරන්නේ කවර රුවකට ද?

යෙසායා 40:9-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය