යෙසායා 37:14-33

යෙසායා 37:14-33 SCV

පණිවුඩකරුවන් වෙතින් ලිපිය ගත් හෙසකියා එය කියවී ය. ඉන්පසු හෙසකියා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එය දිග හළේ ය. හෙසකියා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ! සේනාංකවල ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය. සවන් දී අසන්න, අහෝ ස්වාමින්වහන්ස; ඔබේ ඇස් විවර කර බලන්න, අහෝ ස්වාමින්වහන්ස; ජීවමාන දෙවියන්වහන්සේට නිග්‍රහ කරමින් සෙනකෙරීබ් විසින් එවන ලද වචන සියල්ලට සවන් දෙන්න. “අහෝ ස්වාමින්වහන්ස, සියලු ජාතීන් හා ඔවුන්ගේ දේශ අසිරියාවේ රජුන් විසින් වනසා දමන ලද වග සැබෑ ය. ඔවුහු ඒ ජාතීන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුෑහ. මන්ද ඔවුන් දෙවිවරුන් නො වෙයි. මිනිස් අතින් නිමැවුණු ලී හා ගල් පමණක් ම ය. එබැවින් ඔවුහු විනාශ කරන ලදහ. එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය. එවිට ආමෝස්ගේ පුත් යෙසායා, හෙසකියා වෙත පණිවුඩයක් යැවී ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: අසිරියාවේ රජු වන සෙනකෙරීබ් සම්බන්ධ ව ඔබ මට යාච්ඤා කළ නිසා, ඔහුට එරෙහිව ස්වාමින්වහන්සේ පැවසූ වචනය මෙසේ ය: “ඇය ඔබ සුළු කොට තකන්නී ය; සියොන් කන්‍යා දියණිය ඔබට සමච්චල් කරන්නී ය. නුඹ පිටුපා යන කල, යෙරුසලම් දියණිය ඇගේ හිස වනන්නී ය. නුඹ නිග්‍රහ කළේ කවරකුට ද? අපහාස කළේ කවරකුට ද? නුඹ, නුඹේ කටහඬ අවදි කළේත්, උඩඟුවෙන් නුඹේ ඇස් එසවූයේත්, කවරකුට එරෙහිව ද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේට එරෙහිව ය. නුඹේ සේවකයින් ලවා, නුඹ ස්වාමින්ට එරෙහිව, නිග්‍රහ කරමින්, මෙසේ කියා ඇත: ‘බොහෝ වූ මගේ යුද්ධ රථ සමඟ මම කඳු මුඳුන් වෙත, ලෙබනොනයේ ඈත මුදුන්වලට නැගුණෙමි. ඒ එහි උස ම දේවදාර ගස් ද ඉතා සරු සයිප්‍රස් ගස් ද කපන්නට ය. එහි දුරස්තර කෙළවර මුදුනට, එහි පල සහිත වනයට ළඟා වන්නට ය. මම ළිං කැණ, ඒවායේ දිය බීවේ මගේ යටි පතුලින් ඊජිප්තුවේ සියලු ඇළදොළ ගං හිඳවන්නට යැයි නුඹ කියා ඇත.’ “නුඹ අසා නැද්ද? මා එය නියම කළේ, දිගු කලකට ඉහතදී වග; මා එය සැලසුම් කළේ පුරාණ දවස්හි දී ය. දැන් මම ඒවා ඉටුවන්නට සලස්වන්නෙමි. ඒවා නම්, පවුරු සහිත නගර, නුඹ විසින් නටබුන් ගොඩවල් බවට පත් කරනු ලැබීම ය. ඔවුන්ගේ ජනයා ශක්තියෙන් හීන කරනු ලදුව, කැලඹීමට හා ලජ්ජාවට පමුණුවනු ලැබ ඇත. ඔවුන් පිට්ටනියේ පැළෑටි වැන්න. ළපටි තෘණ වැන්න. පියස්ස මත දළු ලා එන, එහෙත් වැඩෙන්නට පළමු, දැවී මැලවෙන තෘණ වැන්න. “එහෙත් නුඹේ හිඳ සිටීමත්, නුඹේ පිටත යෑමත්, ඇතුළට ඊමත්, මට එරෙහිව ඇති නුඹේ වියරු කෝපයත් මම දනිමි. මට එරෙහිව ඇති නුඹේ වියරු කෝපය නිසාත්, නුඹේ අහංකාරය මා සවන් වැකී ඇති නිසාත්, මම, මගේ කොක්ක නුඹේ නාසයෙහි ද මගේ කටකලියාව නුඹේ මුවෙහි ද ලා, නුඹ ආ මාර්ගයෙන් ම මම නුඹ ආපසු යවන්නෙමි. “මෙය නුඹට ලකුණක් වෙයි: “මේ වසරේ ඉබේ හටගත් දෑ ඔබ අහරට ගනු ඇත. දෙවන වසරේදී එයින් පැන නගින දෑ අහරට ගනු ඇත. එහෙත් තෙවන වසරේ, වපුරා කපා ගන්න. මිදි වතු වවා, ඒවායේ පල කන්න. යළිත් වරක්, යූදා වංශයේ ඉතිරි ස්වල්ප දෙනකු යටින් මුල් ඇද, උඩින් පල දරනු ඇත. මන්ද ඉතිරි ස්වල්ප දෙනකු යෙරුසලමෙන් ද ජීවත් ව ඉතිරි වූ කණ්ඩායමක් සියොන් කන්දෙන් ද නික්මෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේගේ උද්වේගය මෙය ඉටු කරනු ඇත. “එබැවින් අසිරියාවේ රජු ගැන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔහු මේ නගරයට ඇතුළු වන්නේවත්, හීයක් මෙහි විදින්නේවත් නැත. ඔහු පලිස් දරා මේ ඉදිරියට එන්නේවත්, ඊට එරෙහිව වැටලුම් ගොඩැලි තනන්නේවත් නැත.