යෙසායා 35:1-9

යෙසායා 35:1-9 SCV

පාළුකරය හා වියළි දේශය ප්‍රීති වනු ඇත. කාන්තාරය ප්‍රමෝදවත් වී, සෙව්වන්දි මෙන් මල් දරනු ඇත. බහුල ව මල් හට ගැන්වී, එය ප්‍රීතියෙන් හා ප්‍රීති ඝෝෂාවෙන් ප්‍රමුදිත වනු ඇත. ලෙබනොන්හි මහිමය ද කර්මෙල්හි හා ෂාරොන්හි ශෝභාව ද ඊට දෙනු ලැබේ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ද අපේ දෙවියන්වහන්සේගේ ශෝභාලංකාරය ද ඔවුන් දකිනු ඇත. බෙලහීන අත් සවිමත් කර ගන්න. දුබල දණහිස් ප්‍රාණවත් කර ගන්න. බියසුළු හදක් ඇත්තවුන්ට මෙසේ කියන්න: “බලවත් වන්න. භය නො වන්න. මෙන්න ඔබේ දෙවියන්වහන්සේ පළි ගැනීමට එන සේක. උන්වහන්සේ දිව්‍ය පල විපාක දීමට එන සේක. ඔබ ගලවා ගැනීමට එන සේක.” එකල අන්ධයින්ගේ ඇස් අරිනු ලැබේ. බිහිරන්ගේ කන් ඇසෙන්නට සැලසේ. එකල, කොර මිනිසා මුවකු සේ පැන පැන දුවනු ඇත. ගොළු මිනිසාගේ දිව ප්‍රීතිය නිසා කෑ ගසනු ඇත. පාළුකරයේ ඇළදොළ දිය ගලා යනු ඇත. කාන්තාරයේ ජල ධාරා ගලා බසිනු ඇත. ගිනිගත් වැල්ල, දිය පොකුණක් වනු ඇත. පිපාසිත බිමෙහි දිය උල්පත් පැන නගිනු ඇත. සිවලුන් ලැගුම් ගත් තිප්පොළවල තෘණ, බට ගස් හා පන් වැඩෙනු ඇත. එහි මහ මාවතක් වන්නේ ය. ශුද්ධත්වයේ මාර්ගය නමින් එය හැඳින්වෙනු ඇත. අපවිත්‍ර කිසිවකුත් එහි ගමන් ගන්නේ නැත. එය ඒ මාර්ගයේ ඇවිදින අයට ම ය. අනුවණයින් පවා එහි මංමුළා වන්නේ නැත! සිංහයින් එහි නො වනු ඇත. රුදුරු කිසි සතකු එහි නැගිටිනු නැත. උන් කිසිවකු එහිදී දැකිය නො හැක. එහෙත් මුදනු ලැබූවන් පමණක් එහි ගමන් ගනු ඇත.