යෙසායා 14:9-19

යෙසායා 14:9-19 SCV

ඔබ එන කල ඔබ පිළිගන්නට, පහත ෂෙයෝලය, කලබල ව සිටී. ඔබට ආචාර කරන්නට, ලොව ජන නායකයින් ව සිටි සියල්ලන්ගේ ආත්ම එය පොලඹවයි, ජාතීන් කෙරෙහි රජකම් කළ සියල්ලන් ම ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටීමට එය සලස්වයි. ඔවුන් සැවොම පිළිතුරු දෙමින්, ඔබට මෙසේ කියනු ඇත: “ඔබත්, අප වගේ ම දුර්වල වෙලා, ඔබත් අප වගේ ම වෙලා.” ඔබේ විභූතියත්, ඔබේ මහ වීණාවල සංගීතයත්, ෂෙයෝල් මිනී වළට පමුණුවලා. ඔබට යටින් එළන ලද පැදුර, ඉහඳ පණුවෝ ය. ඔබ වැසී සිටින පොරෝනය ද පණුවෝ ය. ස්වර්ගයෙන් නුඹ වැටී ගිය හැටි! එම්බා පහන් තරුව, අරුණැල්ලේ පුත්‍රය, ජාතීන් බිමට ම හෙළූ නුඹ, මහ පොළොවට හෙළා දැමුණු හැටි! නුඹේ හද තුළ නුඹ මෙසේ කීවෙහි ය: “මම ස්වර්ගයට නැගෙන්නෙමි. දෙවියන්වහන්සේගේ තරුවලට ඉහළින් මගේ සිහසුන පිහිටු වන්නෙමි. මම හමුවීමේ කන්ද මත, සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි මත හිඳගන්නෙමි. මම වලාකුළු මුදුන්වලට ඉහළින් නැගී, මම, මහෝත්තමයාණන් වාගේ මා පත් කර ගන්නෙමි.” එහෙත් නුඹ ෂෙයෝලයට, නරාවළේ අන්තිම ගැඹුරට, හෙළා දමනු ලැබ සිටී. ඔබ දකින්නවුන්, ඇස් මහත් කර, බලා, ඕනෑකමින් සිතා බලා මෙසේ කියනු ඇත: “පොළොව සලිත කළ, රාජධානි වෙවුලන්නට සැලසූ මිනිසා මොහු ද? ලෝකය පාළුකරයක් කළ, එහි නගර බිඳ හෙළූ, සිරකරුවන්ට ගෙදර යාමට ඉඩ නුදුන් මිනිසා මොහු ද?” සියලු ජාතීන්ගේ රජවරු ගෞරව සහිත, තම තමන්ගේ සොහොන් තුළ සැතපෙති. එහෙත් නුඹ නුඹේ ම සොහොනින් ඉවතට ඇද දමනු ලැබ ඇත්තේ, නුසුදුසු අත්තක් පරිද්දෙනි. කඩුපතින් ඇනුම් ලදුව, ඝාතන කරනු ලැබ, නරාවළේ ගල් අතරට බැස ගිය මළවුන්ගෙන් නුඹ වැසී ඇත. පයින් පාගා දමන ලද මළකඳක් මෙන්