යෙසායා 13:6-13

යෙසායා 13:6-13 SCV

වැලපෙන්න; මන්ද ස්වාමින්වහන්සේගේ දවස ළඟ ය; එය පැමිණෙන්නේ සර්ව පරාක්‍රමයාණන් වෙතින් එන විනාශයක් පරිද්දෙනි. ඒ හේතුවෙන් හැම අතක් ම එල්ලා වැටෙනු ඇත. හැම මිනිස් හදක් ම දියවී යනු ඇත. ඔවුන් භීතියට පත් කෙරේ. වේදනාව හා සන්තාපය, ඔවුන් ග්‍රහණයට ගනී. ප්‍රසවයේදී ස්ත්‍රියක සේ ඔවුන් වේදනාවෙන් ඇඹරෙනු ඇත. තැති ගෙන ඔවුන් එකිනෙකා දෙස බලනු ඇත. ඔවුන්ගේ මුහුණු ඇවිළේ. මෙන්න! ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන්නේ සැහැසි ව, උදහසින් හා රුදුරු කෝපයෙන් යුතු ව දේශය පාළු කර දැමීමට හා ඒ තුළ සිටින පව්කරුවන් විනාශ කර දැමීමට ය. අහස් තරු ද ඒවායේ ග්‍රහ මණ්ඩල ද ඒවායේ එළිය නො දෙනු ඇත. හිරු අන්ධකාර ව උදා වනු ඇත. සඳු ද එහි ආලෝකය වගුරුවනු නැත. ලෝකයට එහි දුෂ්ටකම් නිසාත්, දුෂ්ටයිනට ඔවුන්ගේ අයුතුකම් නිසාත් මම දඬුවම් කරමි. අහංකාරීන්ගේ මහන්තත්වය, මම නිම කරන්නෙමි. කුරිරුවූවන්ගේ ආඩම්බරය, මම යටත් කරන්නෙමි. මම, අමිශ්‍ර රනට වඩා, ජනයා දුර්ලභ කරන්නෙමි. ඕෆීර්හි රනට වඩා, මානව වර්ගයා විරල කරන්නෙමි. එබැවින් සේනාංකවල ස්වාමින්වහන්සේගේ උදහසේදී, උන්වහන්සේගේ රුදුරු කෝපයේ දවසේදී, මම අහස වෙවුලන්නට සලස්වමි. පොළොව එහි ස්ථානගත තැනින් සොලවනු ලබනු ඇත.

මෙයට අදාළ වීඩියෝ