යෙසායා 1:1-9

යෙසායා 1:1-9 SCV

උස්සියා, යෝතාම්, ආහාස් හා හෙසකියා යන යූදාහි රජවරුන්ගේ පාලන දවස්වලදී යූදා හා යෙරුසලම ගැන ආමෝස්ගේ පුත්‍ර යෙසායා දුටු දර්ශනය ය. එම්බා අහස් තලයෙනි, මේ අසනු! එම්බා පොළොව, සවන් දෙනු! මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක: “මම දරුවන් හදා-වඩා, ඇතිදැඩි කළෙමි. එහෙත් ඔවුහු මට එරෙහිව කැරලි ගැසූහ. ගොනා උගේ හාම්පුතා ද බූරුවා උගේ හිමිකරුගේ ගාල ද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත; මගේ ජනයා වටහා ගන්නේ නැත.” අහෝ, පව්කාර ජාතියක් ද අයුතුකමෙන් බර ජනතාවක් ද දුෂ්ටකම් කරන්නවුන්ගේ පැටවුන් ද දූෂිතයට ගැති දරුවන් ද වන ඔවුහු ස්වාමින්වහන්සේ අත්හැරියහ. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ හෙළා දුටු ඔවුහු, උන්වහන්සේට තම පසු පස හැරවූහ. කුමට තවත් නුඹලා තැළුම් ලබන්නහු ද? කුමට කැරලිකාරකමෙහි එල්බ සිටින්නහු ද? මුළු හිස ම ලෙඩ වී ඇත. හදවත මුළුමනින් මුර්ජාවට පත් ව ඇත. ඔබේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා කිසි තැනක සනීපයක් නැත. ඇත්තේ තුවාල ද කැළැල් ද අමු වණ ද පමණි. ඒවා පිරිසිදු කොට නැත. වෙළා නැත. තෙල් ගල්වා, සනහා නැත. ඔබේ රට පාළු වී ඇත. ඔබේ නගර ගින්නෙන් දවනු ලැබ ඇත. ඔබේ දේශය ඔබේ ඇස් ඉදිරිපිටදී ම විදෙස්සන් අතින් වැනසේ. විදෙස්සන් විසින් බිඳ හෙළන ලද සේ එය වැනසී ඇත. සියොන් දියණිය අත්හරිනු ලැබ ඇත්තේ, මිදි වත්තක මඩුවක් ලෙසිනි. කැකිරි යායක පැලක් ලෙසිනි. වටලන ලද නුවරක් ලෙසිනි. සේනාංකවල ස්වාමින්වහන්සේ ජීවත් ව ඉතිරි ස්වල්ප දෙනකු අපට ඉතිරි කර නො තිබිණි නම්, අප, සොදොමට සමාන වන්නට තිබිණි. අප, ගොමොරාව මෙන් වන්නට තිබිණි.

යෙසායා 1:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය