“ඔබගේ සහෝදරයින්ට, ‘මගේ ජනයා’ කියා ද ඔබගේ සහෝදරියනට, ‘අනුකම්පා ලද්දී’ කියා ද කියන්න.
“ඔබගේ මවට චෝදනා නගන්න; ඇයට චෝදනා නගන්න.
ඇය මගේ බිරිඳ නො වේ;
මා ඇයගේ සැමියා ද නො වේ.
ඇය ඇගේ මුහුණෙන් වෙසඟන පෙනුම ද
ඇගේ පියයුරු අතරින් වේශ්‍යාකම ද අහක් කර ගනීවා.
එසේ නො කළහොත්, ඇය උපන් දා සිටියාක් මෙන්
මම ඇය නග්න කරන්නෙමි.
මම ඇය කරවූ, වියළි බිමක් කර,
ඇය කාන්තාරයක් බවට හරවා,
පිපාසයෙන් ඇය මරන්නෙමි.
ඇගේ දරුවන්ට මගේ අනුකම්පාවක් නැත,
මන්ද ඔවුහු වේශ්‍යාකමේ දරුවෝ ය;
ඔවුන්ගේ මව වේශ්‍යාකමේ හැසිරී,
ඇය ඔවුන් ගැබ්ගත්තේ නින්දිත ව ය.
ඇය කියා සිටියේ, ‘මගේ රොටි හා මගේ ජලය ද
මගේ ලොම් හා මගේ හණ ඇඳුම් ද මගේ තෙල් හා මගේ බීම ද දෙන
මගේ පෙම්වතුන් පස්සේ යමි’ කියා ය.
එබැවින් මම, ඇගේ මාර්ගය කටු පඳුරින් අවුරන්නෙමි.
ඇගේ පාර, ඇයට සොයාගත නො හැකි වන සේ මම තාප්පයක් බඳින්නෙමි.
ඇය ඇගේ පෙම්වතුන් පස්සේ හඹා යන නමුදු, ඔවුන් අල්ලා ගන්නේ නැත.
ඇය ඔවුන් සොයන නමුදු, ඇයට ඔවුන් හමුවන්නේ නැත.
එවිට ඇය,
‘මම ගොසින්, මගේ පළමු සැමියා වෙත ආපසු යන්නෙමි.
මන්ද එකල දැනට වඩා මට හොඳ ව තිබුණේ’ යැයි කියනු ඇත.
ඇගේ ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් ද
බාල් දේවතාවාට පිදීමට ඔවුන් භාවිත කළ
අප්‍රමාණ වූ රිදී හා රන් ද
ඇයට දුන්නේ මා වග ඇය දන්නේ නැත.
“එබැවින් නිසි කාලයේදී මගේ ධාන්‍ය ද
නිසි කාලයේදී මගේ අලුත් මිදි යුෂ ද
ඇගේ නිරුවත වසා ගන්නට ගැනෙන
මගේ ලොම්-පිළි හා හණ පිළි ද මම ආපසු ගනිමි.
ඇගේ ආදරවන්තයින්ගේ ඇස් හමුවේ,
දැන් මම ඇගේ සල්ලාලකම හෙළි කරන්නෙමි.
මගේ අතින් ඇය මුදා ගන්නා කෙනෙක් නැත.
ඇගේ සියලු ප්‍රමෝදයන් වන
ඇගේ වාර්ෂික උත්සව, ඇගේ සබත්, ඇගේ නව සඳ දවස්,
ඇගේ සියලු සම්මත සැමරුම් උත්සව මම නිමාවට පත් කරන්නෙමි.
තම ආදරවතුන්ගෙන් ලද මගේ ගාස්තු මේයැයි ඇය කී,
ඇගේ මිදි වතු හා අත්තික්කා ගස් මම විනාශ කරන්නෙමි.
මම ඒවා කැලෑ බවට පත් කරන්නෙමි:
වන සීපාවුන් ඒවා කා දමනු ඇත.
බාල් දෙවියාට ඇය සුවඳ දුම් දැවූ සමය ගැන,
මම ඇයට දඬුවම් කරමි.
මුදු හා කන කර අබරණ පැලඳ,
ඇගේ ආදරවන්තයින් පසු පස ගිය ඈ
මා අමතක කළා යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“එබැවින් මෙන්න! මම ඇය පොලඹවා ගෙන,
පාළුකරයට කැඳවාගෙන ගොස්,
මුදු වදනින් ඇයට කතා කරන්නෙමි.
එහිදී මම ඇගේ මිදි වතු ආපසු ඇයට දී,
ආකොර් මිටියාවත, බලාපොරොත්තුවේ දොරක් කරන්නෙමි.
එහිදී ඇය ඇගේ යෞවනයේ දවස්හි දී මෙන්
ඇය ඊජිප්තු දේශයෙන් පැමිණි දවස්හි දී මෙන් මට ප්‍රතිචාර දක්වනු ඇත.
“ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
‘ඒ දවසේදී ඔබ මට, “මගේ සැමියා” යි කියනු ඇත.
තවදුරටත් ඔබ මට, “මගේ බාල් යැ” යි කියනු නැත.
මන්ද මම ඇගේ දෙතොලතරින් බාල් දේවතා නාම පහ කරන්නෙමි.
තවදුරටත් ඔවුන්ගේ නාම භාවිත කෙරෙන්නේ නැත.
ඒ දවසේ මම ඔවුන් උදෙසා,
වන මෘගයින් ද අහස් පක්ෂීන් ද
බිම බඩ ගා ඇදෙන උරගයින් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි.
සැමට ම සුරැකි ව වෙසෙනු හැකි වන පිණිස
දුන්න ද කඩුව ද සංග්‍රාමය ද
මම දේශයෙන් අවලංගු කර දමන්නෙමි.
මම සදහට ම ඔබ සරණ පාවා ගනිමි.
දමිටුකමින් ද යුක්තියෙන් ද
නොමියෙන ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් ද මම ඔබ සරණ පාවා ගනිමි.
විශ්වාසවන්තකමින් මම ඔබ සරණ පාවා ගනිමි.
එවිට ඔබ ස්වාමින්වහන්සේ හැඳින ගනු ඇත.
“ ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
ඒ දවසේ මම ප්‍රතිචාර දක්වන්නෙමි.’
මම අහස්වලට ප්‍රතිචාර දක්වන්නෙමි;
එවිට එය පොළොවට ප්‍රතිචාර දක්වන්නේ ය.
එවිට පොළොව ප්‍රතිචාර දක්වන්නේ
ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද තෙල් ද සමඟිනි.
මෙසේ ඒවා යෙස්රෙයෙල් වෙත ප්‍රතිචාර දක්වනු ඇත.
දේශය තුළ මම මට ම, ඇය පැළකර ගන්නෙමි,
‘අනුකම්පා නො ලද්දී’ යි මා කී තැනැත්තියට මම මගේ අනුකම්පාව දක්වමි.
‘මගේ ජනයා නො වේ’ යි මා කී අයට, ‘මගේ ජනයා ඔබ යැ’ යි කියන්නෙමි.
එවිට, ‘මගේ දෙවියන්වහන්සේ ඔබ යැ’ යි ඔබ පවසනු ඇත.”