ක්‍රිස්තුස්වහන්සේ, දැන් පැමිණ තිබෙන යහපත් දේවල උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි කල, (අත්වලින් තනනු නො ලැබූ, මේ මැවිල්ලට අයත් නො වූ) උතුම් වූ, වඩා පරිපූර්ණ වූ මණ්ඩපයට මැදින්, ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මගින් නො ව, තමන්වහන්සේගේ ලේ මගින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි. මන්ද මාංසයේ පවිත්‍ර වීමට, එළුවන්ගේ හා ගවයින්ගේ ලේ ද දවන ලද එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන් අපවිත්‍ර වූවන් පාරිශුද්ධ කරනු ලැබේ නම්, ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන් ම, සදාතන ආත්මයාණන් මගින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මගින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!
එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත.
මන්ද අන්තිම කැමැත්ත පිළිබඳ කාරණයකදී එය ස්ථාපිත කළ කෙනාගේ මරණය සහතික විය යුතු වේ. අන්තිම කැමැත්ත බල පැවැත්වෙන්නේ මරණයෙන් පසුව පමණි. එය ලියූ අය ජීවත් ව සිටින තෙක් එය වලංගු නැත. එබැවින් පළමු ගිවිසුම පවා, ලෙයින් තොර ව පිහිටුවනු ලැබුවේ නැත. මන්ද ව්‍යවස්ථාවේ හැම ආඥාවක් ම මුළු මහත් ජනතාවට ප්‍රකාශ කළ පසු, මෝසෙස් වතුර ද රතු ලොම් ද හිසොප් ද සමඟ ගව ලේ හා එළු ලේ ගෙන, එම ලියවිල්ලත්, මුළු මහත් ජනතාවත් පිට ඒවා ඉස්සේ, “දෙවියන්වහන්සේ ආඥා කළ ගිවිසුමේ ලේ මේ යැ” කියමිනි. තවද ඔහු මණ්ඩපයටත්, නමස්කාරය සඳහා වූ භාවිතයට ගැනෙන සියලු භාජනවලටත් ලේ ඉස්සේ ය. සැබවින් ම, ව්‍යවස්ථාව යටතේ හැම දෙයක් ම ලෙයින් පවිත්‍ර කරනු ලැබිණ; ලේ වැගිරීමකින් තොර ව, පාප කමා කිරීමක් ද නැත.
එබැවින්, ස්වර්ගීය දේවල අනුරූප, මෙම වත් පිළිවෙත් මගින් පවිත්‍ර කරනු ලැබීම අවශ්‍ය ව තිබුණ ද, ස්වර්ගීය දෑ උදෙසා මීට වඩා උතුම් යාග අවශ්‍ය විණි. මන්ද ක්‍රිස්තුස්වහන්සේ ඇතුළු වූයේ, සැබෑ දේවල අනුරූප වන මිනිස් අතින් සෑදුණු ශුද්ධස්ථානයකට නො වේ; අප උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ දැන් පෙනී සිටින පිණිස, උන්වහන්සේ ස්වර්ගයට ම ඇතුළු වූ සේක. ඒ, වසරක් පාසා උත්තම පූජකයා තමන්ගේ නො වන ලේ ගෙන, ශුද්ධස්ථානයට ඇතුළු වන ලෙස නැවත නැවතත් තමන් ම යාගවන්නට නො වේ. එසේ වී නම්, ලොව මැවූ තැන් පටන් බොහෝ වරක් වධ වේදනා විඳින්නට උන්වහන්සේට සිදු වන්නට තිබිණි. එහෙත් දැන් ඇති පරිදි උන්වහන්සේ තමන් ම යාගවීමෙන් පාපය දුරු කරන පිණිස, යුගවල අවසානයේදී සදහට ම එක් වරක් පමණක් පෙනී සිටි සේක. එක් වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම, ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එක ම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් ප්‍රකාශ වන සේක.