හෙබ්‍රෙව් 7:11-19

හෙබ්‍රෙව් 7:11-19 SCV

ලෙවීය පූජකත්වය මගින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා ව්‍යවස්ථාව ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද? මන්ද පූජකත්වයේ වෙනසක් වන කල, ව්‍යවස්ථාවේ ද වෙනසක් සිදුවීම යුතු ව ඇත. මේ දෑ පැවසුණේ යම් කෙනකු ගැන ද, ඒ තැනැත්තාණන් අයිති වෙනත් ගෝත්‍රයකට ය. එම ගෝත්‍රයේ කිසිවකු පූජාසනයේ මෙහෙවර කර නැත. මන්ද අප ස්වාමින්වහන්සේ පැවත ආවේ යූදා ගෝත්‍රයෙන් බව පැහැදිලි ය. එම ගෝත්‍රයට අදාළ ව පූජකයින් ගැන කිසිවක් මෝසෙස් පවසා නැත. අප කී දෑ වඩාත් පැහැදිලි වන්නේ මෙල්කිසදෙක් හා සමාන වෙනත් පූජකයකු, එනම්, ශාරීරික පෙළපත්වලට අදාළ නීතිමය නියමයන් පදනම් කොට නො ව, විනාශ කරන්නට බැරි ජීවිතයක බලය මගින් පූජකවරයට පත් වූ කෙනකු නැගුටුණු කල්හි ය. මන්ද උන්වහන්සේ ගැන සාක්ෂි ඇත, එනම්: “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය” යන්නයි. අනෙක් අතට, පැරණි ආඥාව එහි දුබලතා හා නිෂ්ඵලතා හේතු කොට ඉවතලනු ලැබ ඇත. (මන්ද ව්‍යවස්ථාව කිසිවක් පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත.) එහෙත් අනෙක් අතට, දෙවියන්වහන්සේ වෙතට අප ළං කරවන, වඩා හොඳ බලාපොරොත්තුවක් හඳුන්වා දී තිබේ.