හෙබ්‍රෙව් 6

6
1එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොර ව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම, 2බව්තීස්මයන් පිළිබඳ ඉගැන්වීම, අත් තැබීම, මළවුන්ගෙන් නැගිටීම හා සදාතන විනිශ්චය යන දෑ ය. 3දෙවියන්වහන්සේ වර දෙන සේක් නම්, අපි එසේ කරන්නෙමු.
4මන්ද වරක් සත්‍යාබෝධ කරනු ලැබූ, ස්වර්ගීක දීමනාවේ රස විඳි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ පංගුකාර වූ, 5දෙවියන්වහන්සේගේ වචනයේ යහගුණ හා මතු එළැඹෙන යුගයේ බලය දිව ගෑ අය 6වැටී ගියහොත්, යළි නගා සිටුවීම සඳහා පසුතැවිල්ලට ගෙන ඒම කළ නො හැක්කකි; ඔවුහු තමන්ට ම හානියක් ද උන්වහන්සේට නිග්‍රහ ද කරමින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැවතත් කුරුසියේ ඇණ ගසති. 7නිතර එය පිට වැටෙන වැස්ස උරා ගනිමින්, වගා කරන්නන්ට පලදායි අස්වැන්නක් උපදවා දෙන පොළොව, දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලබයි. 8එහෙත් එය උපදවා දෙන්නේ කටු හා ගොකටු පඳුරු පමණක් ම නම්, එහි ඇති වටිනාකමක් නැතිවාත් හැර, එය ශාප ලැබීමේ අවදානමේ සිටී. එහි අවසානය දවා දමනු ලැබීමයි.
9අප මෙසේ පවසනවා වුව ද ප්‍රේමණීයයනි, ඔබ සම්බන්ධ ව නම්, ගැලවීමට අදාළ වඩා හොඳ තත්වයට ඔබ අයිති වග, අපට සහතිකයි. 10මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත. 11එසේ ම ඔබ හැම කෙනකු ම අවසානය දක්වා ඔබගේ බලාපොරොත්තුවේ සම්පූර්ණ සහතිකය එම උද්යෝගයෙන් ම දරා සිටිනු දැක්ම අපගේ ආශාවයි. 12ඒ, ඔබ අලසයින් නො වී, ඇදහිල්ලත්, ඉවසීමත් මගින් පොරොන්දු උරුම කරගන්නවුන්ගේ ආදර්ශය අනුගමන කරන පිණිස ය.
පොරොන්දුව හා දිවුරුම
13දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන් ම ගැන දිවුරමින්, 14“මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබ වැඩි වර්ධන කරන්නෙමි”#6:14 උත් 22;17 යි කී සේක. 15මෙසේ ආබ්‍රහම් ඉවසිලිවත් ව බලා සිට, පොරොන්දුව ලබා ගත්තේ ය.
16මන්ද මිනිසුන් තමනට වඩා උසස් කෙනකු ගැන දිවුරමින් දෙන දිවුරුමෙන් ඔවුන්ගේ වාද භේද සියල්ල සමථයට පත් වේ. 17දෙවියන්වහන්සේ එබැවින් තම අභිප්‍රායේ වෙනස් නො වන ස්වභාව පොරොන්දුවේ උරුමකරුවනට වඩා විශ්වාසදායී ව පෙන්වා දීමට ආශා වූ සේක්, එයට දිවුරුමකින් ඇප වූ සේක. 18එසේ කළේ, දෙවියන්වහන්සේට ම බොරු කීම කළ නො හැකි වන වෙනස් නො වන කාරණ දෙකක් මත, ආරක්ෂාව ලබන්නට පලා ආ අපට, අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව දැඩි ව අල්ලා ගැනීමට ප්‍රබල ධෛර්යයක් ලැබෙන පිණිස ය. 19ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයට ම පිවිසෙයි. 20මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.

දැනට තෝරාගෙන ඇත:

හෙබ්‍රෙව් 6: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න