හෙබ්‍රෙව් 4:4-16

හෙබ්‍රෙව් 4:4-16 SCV

මන්ද උන්වහන්සේ හත් වන දවස ගැන එක් තැනක කතා කරමින්: “දෙවියන්වහන්සේ මැවීමේ ස්වකීය සියලු වැඩවලින් හත් වන දවසේ විශ්‍රාම ගත් සේකැ” යි පවසා තිබේ. තවද මේ පාඨයේ, “මගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැතැ” යි උන්වහන්සේ පවසන සේක. මුලින් ශුභාරංචිය ඇසූවන් අකීකරුකම නිසා, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට අසමත් වුව ද, ඇතමුනට එහි ඇතුළු වීමට තවමත් අවකාශ තිබෙන බැවින්, උන්වහන්සේ දිගු කලකට පසු දාවිත් තුළින් කතා කරමින්: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, ඔබේ හදවත් දැඩි කර නො ගන්නැ” යි “අද ය” කියා පවසමින්, ඊට දවසක් යළි නියම කර තිබේ. මන්ද යෝෂුවා ඔවුන්ට සැබෑ විශ්‍රාමය සලසා දුන්නා නම්, විශ්‍රාමය පිළිබඳ තවත් දවසක් ගැන දෙවියන්වහන්සේ ඉන්පසු කතා නො කරන්නට තිබිණි. දෙවියන්වහන්සේගේ ජනතාවට එබැවින්, සබත් විශ්‍රාමයක් තවමත් ඉතිරි ව තිබේ. දෙවියන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන අය, උන්වහන්සේ කළ පරිදි තම වැඩවලින් විශ්‍රාම ගනිති. එබැවින් එම ආකාරයේ අකීකරුකමින් අප කිසිවකුත් වැටී නො යන පිණිස, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට පරිශ්‍රම දරමු. මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතුවිලි හා ආකල්ප විමසයි. කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක් ම නිරාවරණ ය; විවෘත ය. එබැවින්, අහස් මණ්ඩල පසු කර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු. මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින් ම අප හා සමාන ව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි. එබැවින්, දයාව හා අනුග්‍රහය අවැසි වෙලාවට ලබන පිණිස, අනුග්‍රහයේ සිංහාසනය වෙත දැඩි විශ්වාසයෙන් ළඟා වෙමු.

හෙබ්‍රෙව් 4:4-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය