හෙබ්‍රෙව් 2

2
අවධානය පිණිස අවවාදයක්
1එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි. 2මන්ද දේව දූතයින් විසින් ප්‍රකාශිත පණිවුඩය වලංගුව, හැම අපරාධයකට හා අකීකරුකමකට නිසි ප්‍රතිවිපාක ලැබුණේ වී නම්, 3ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත. 4තවද ලකුණු ද පුදුම ද නොයෙකුත් හාස්කම් ද ස්වකීය කැමැත්තට අනුව එකිනෙකාට බෙදා දුන් ශුද්ධාත්ම දීමනා ද මගින් දෙවියන්වහන්සේ ද ඒ ගැන සාක්ෂි දැරූ සේක.
යේසුස්වහන්සේ නම් සැබෑ මිනිසා
5අප කතා කරන මතු පැමිණෙන ලෝකය දෙවියන්වහන්සේ යටත් කර දෙනු ලැබුවේ දේව දූතයනට නො වේ. 6එක් තැනක, ඒ ගැන සාක්ෂි දරා ඇත්තේ,
“ඔබගේ අවධානය යොමු කිරීමට මිනිසා කවරෙක් ද?
ඔබ සැලකිලිමත් වීමට, මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?
7දේව දූතයින්ට වඩා ඔහු මදක්#2:7 මදක් හෙවත් මද කලකට පහත් වන්නට සැලසූ ඔබවහන්සේ,
තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳුවේ,
8සියලු දේ ම ඔහුගේ පයට යටත් කරමිනි”#2:8 ගීතා 8:4-6 යනුවෙනි.
උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක් ම නැත. එහෙත් හැම දෙයක් ම උන්වහන්සේට යටත් ව ඇති වග තවමත් අපට නො පෙනේ. 9එහෙත් හැම කෙනකු උදෙසා ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.
10සියලු දේ පවතින්නේ කවුරුන් උදෙසා ද, කවුරුන් හේතු කොට ද ඒ තැනැන්වහන්සේ බොහෝ පුත්‍රයින් තේජසට ගෙනෙන කල, ඔවුන්ගේ ගැලවීමේ නිර්මාතෘන් වධ විඳීමේ අත්දැකීම් තුළින් සම්පූර්ණත්වයට පත් ව සිටීම යෝග්‍ය ව තිබිණි. 11මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එක ම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි. 12උන්වහන්සේ කියනුයේ,
“ඔබගේ නාමය මම මගේ සහෝදරයින්ට ප්‍රකාශ කරමි;
සභාව මධ්‍යයයේ ඔබගේ ප්‍රශංසාව ගයන්නෙමි”#2:12 ගීතා 22;22
13නැවතත්,
“මගේ විශ්වාසය මම උන්වහන්සේ පිට තබන්නෙමි.”#2:13 යෙසා 8;17
නැවතත්,
“මෙන්න මමයි, දෙවියන්වහන්සේ මට දුන් දරුවොයි.”#2:13 යෙසා 8;18
14එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මගින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්, 15මුළු ජීවිත කාලය මරණ බයින් වහල්කමට යටවී සිටියවුන් නිදහස් කරන පිණිසත් ය. 16මන්ද සැබවින් ම උන්වහන්සේ පිහිට වන්නේ, දේව දූතයිනට නො වේ; උන්වහන්සේ පිහිට වන්නේ, ආබ්‍රහම්ගේ වංශයට වග පැහැදිලි ය. 17මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා පාප වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින් ම සමාන වන්නට උන්වහන්සේට යුතු ව තිබිණි. 18මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේ ම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටිනවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන.

දැනට තෝරාගෙන ඇත:

හෙබ්‍රෙව් 2: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න