හෙබ්‍රෙව් 2:9-18

හෙබ්‍රෙව් 2:9-18 SCV

එහෙත් හැම කෙනකු උදෙසා ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ. සියලු දේ පවතින්නේ කවුරුන් උදෙසා ද, කවුරුන් හේතු කොට ද ඒ තැනැන්වහන්සේ බොහෝ පුත්‍රයින් තේජසට ගෙනෙන කල, ඔවුන්ගේ ගැලවීමේ නිර්මාතෘන් වධ විඳීමේ අත්දැකීම් තුළින් සම්පූර්ණත්වයට පත් ව සිටීම යෝග්‍ය ව තිබිණි. මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එක ම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි. උන්වහන්සේ කියනුයේ, “ඔබගේ නාමය මම මගේ සහෝදරයින්ට ප්‍රකාශ කරමි; සභාව මධ්‍යයයේ ඔබගේ ප්‍රශංසාව ගයන්නෙමි” නැවතත්, “මගේ විශ්වාසය මම උන්වහන්සේ පිට තබන්නෙමි.” නැවතත්, “මෙන්න මමයි, දෙවියන්වහන්සේ මට දුන් දරුවොයි.” එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මගින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්, මුළු ජීවිත කාලය මරණ බයින් වහල්කමට යටවී සිටියවුන් නිදහස් කරන පිණිසත් ය. මන්ද සැබවින් ම උන්වහන්සේ පිහිට වන්නේ, දේව දූතයිනට නො වේ; උන්වහන්සේ පිහිට වන්නේ, ආබ්‍රහම්ගේ වංශයට වග පැහැදිලි ය. මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා පාප වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින් ම සමාන වන්නට උන්වහන්සේට යුතු ව තිබිණි. මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේ ම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටිනවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන.