හෙබ්‍රෙව් 13:1-18

හෙබ්‍රෙව් 13:1-18 SCV

සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න. ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. ආගන්තුක සත්කාර කිරීමෙන් ඇතමුන් නො දැන ම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත. ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගත ව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විඳින්නන් ද සිහිපත් කරන්න. විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත. මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත් ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ. එබැවින්, නිසැක විශ්වාසයෙන් අපට මෙසේ කිව හැකි ය, “ස්වාමින්වහන්සේ මගේ උපකාරකරුවාණෝ ය; මම බය නො වන්නෙමි. මිනිසා මට කුමක් කරන්න ද?” ඔබට දෙවියන්වහන්සේගේ වචනය කතා කළ නායකයින් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මෙහි ප්‍රතිඵලය සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණ කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය. සියලු ආකාර අමුතු ඉගැන්වීම් මගින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත. මණ්ඩපයේ මෙහෙ කරන්නවුන්ට කන්නට අවසර නැති, පූජාසනයක් අපට තිබේ. උත්තම පූජකයා, පාප පූජාවක් ලෙස ශුද්ධස්ථානවලට සත්ව ලේ ගෙන ගිය ද, උන්ගේ සිරුරු දවා දමනු ලබන්නේ කඳවුරෙන් පිටතදී ය. මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක. එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු. මන්ද පවතින පුරවරයක් අපට මෙහි නැත. එහෙත් මතු පැමිණෙන පුරවරය ගැන අපි බලා සිටින්නෙමු. එබැවින් නිරතුරු ව, උන්වහන්සේ මගින් දෙවියන්වහන්සේ වෙත, උන්වහන්සේගේ නාමය පිළිගන්නා අපේ තොල්වල පලය වන ප්‍රශංසා පූජා ඔප්පු කරමු. යහපත කිරීම ද ඔබට ඇති දෑ අන් අය සමඟ බෙදා හදා ගැනීම ද අතපසු නො කරන්න. එම පූජා දෙවියන්වහන්සේට ප්‍රසන්න ය. ඔබේ නායකයින්ට අවනත ව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත. අප උදෙසා යාච්ඤා කරන්න. මන්ද හැම දේකදී ගෞරවනීය ව ක්‍රියා කිරීමේ ආශාවෙන් යුතු පැහැදිලි හෘදය සාක්ෂියක් අපට ඇති බැව් අපට සහතික ය.