හෙබ්‍රෙව් 12:22-29

හෙබ්‍රෙව් 12:22-29 SCV

එහෙත් ඔබ පැමිණ ඇත්තේ සියොන් කන්ද වෙතට ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුරවරය වූ ස්වර්ගීය යෙරුසලම වෙතට හා අසංඛ්‍ය වූ දේව දූතයින්ගේ ප්‍රීති ජනක රැස්වීම වෙතට ය; ස්වර්ගයේ නම් ඇතුළත් කුලුඳුලන්ගේ සභාව වෙතට ය; සියල්ලන්ගේ විනිශ්චයකරුවාණන් වූ දෙවියන්වහන්සේ වෙතට ය; සම්පූර්ණත්වයට පත් කරනු ලැබූ ධර්මිෂ්ඨයින්ගේ ආත්ම වෙතට ය. අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය. කතා කරන්නා වූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප නො කරන්නට බලා ගන්න. පොළොවේදී තමන්ට අවවාද කළ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කළ විට, ඔවුන් ගැලවුණේ නැති නම්, ස්වර්ගයේ සිට අවවාද කරන තැනැන්වහන්සේ වෙතින් ඉවත හැරුනහොත්, අපි කෙලෙස ගැලවෙන්නෙමු ද? එකල උන්වහන්සේගේ කටහඬට පොළොව සලිත විය. එහෙත් දැන්, “මම යළිත් වරක් පොළොව පමණක් නො ව අහස ද සොලවන්නෙමි” යි උන්වහන්සේ පොරොන්දු වී ඇත. “යළිත් වරක්” යන්නෙන් අදහස් වන්නේ, සොලවන්නට නො හැකි දෑ ඉතිරි වන පිණිස, සොලවනු ලබන දෑ වන මවන ලද දෑ බැහැර කරන බවයි. එබැවින් සොලවන්නට බැරි රාජ්‍යයක් අපට ලැබෙන බැවින්, ස්තූතිවන්ත වෙමු. තවද ගෞරවනීය ව හා භයින් යුතු ව දෙවියන්වහන්සේට පිළිගත මනා නමස්කාරයක් ඔප්පු කරමු. මන්ද අපේ දෙවියන්වහන්සේ දවාලන ගින්නකි.