හෙබ්‍රෙව් 12:1-22

හෙබ්‍රෙව් 12:1-22 SCV

එබැවින් මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් සමූහයක් අප වට කොට සිටින බැවින්, හැම බරක් හා පහසුවෙන් අප පටලවා ගන්නා පාපය පසෙක ලා, අප ඉදිරියේ සලසා ඇති තරඟ දිවුම, අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ම ඇස් යොමා ගෙන, වීර්යයෙන් ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙල ව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක. ඔබ හෙම්බත් වී අධෛර්යට පත් නො වන පිණිස, පාපී මිනිසුන්ගේ ඒ සා එදිරිවාදිකම් ඉවසූ තැනැන්වහන්සේ ගැන සිතා බලන්න. පාපයට එරෙහිව ඔබ කරන පොරබැදීමේදී තවමත් ලේ හැලෙන විරෝධතාවකට පත් ව නැත. පුත්‍රයින් යයි ඔබ අමතන ධෛර්යය ගැන්වීමේ මෙම වචන ඔබට අමතක වූවා ද? “මා පුත, ස්වාමින්වහන්සේගේ හික්මවීම සුළු කොට නො සලකන්න; උන්වහන්සේගෙන් තරවටු ලබන කල නො කලකිරෙන්න; මන්ද ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක; පුත්‍රයකු වශයෙන් පිළිගන්නා සැමට තළන සේක.” ඔබ ඉවසා දරාගත යුත්තේ හික්මීම පිණිස ය. දෙවියන්වහන්සේ ඔබ සලකන්නේ පුත්‍රයින් වශයෙනි. තම පියාණන් විසින් හික්මවනු නො ලබන පුත්‍රයා කවුරු ද? හැම කෙනකු ම හික්මවන පරිදි ඔබ හික්මවනු නො ලබනවා නම්, ඔබ අවජාතකයකු මිස, පුත්‍රයකු නො වේ; ඒ හැර, අප හික්මවූ භූමික පියවරු අපට සිටියහ; අපි ඔවුනට ගරු කළෙමු. එසේ නම්, අප ආත්මවල පියාණන්ට ඊට කොපමණ වැඩියෙන් අප යටත් ව, ජීවත් විය යුතු ද? මන්ද ඔවුන් අප හික්මවූයේ ඔවුන්ට වඩා හොඳයයි පෙනුණු පරිදි ටික කලකට ය. එහෙත් මුන්වහන්සේ අප හික්මවන්නේ අපේ යහපත සඳහා, අප උන්වහන්සේගේ ශුද්ධත්වයට පංගුකාර වන පිණිස ය. හැම හික්මවීමක් ම විඳින කල, එය ප්‍රියදායි ව නො ව, පීඩාදායි ව පෙනේ; එහෙත් පසුව, එයින් අත්දැකීම් ලද්දවුනට, ධර්මිෂ්ඨකමේ සාමකාමී පල හට ගැනේ. එබැවින් එල්ලා වැටෙන ඔබගේ අත් ඔසවා, පණ නැති දණිස් ශක්තිමත් කර ගන්න. කොර වූ කකුල්-සන්ධි නො ගැලවී ඒවා සුව වන පිණිස, ඔබේ පාදවලට සමතල මාවත් තනා ගන්න. සියලු දෙනා සමඟ සාමයෙන් විසීමටත්, ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමටත් පරිශ්‍රම දරන්න. ශුද්ධත්වයෙන් තොර ව කිසිවකුත් ස්වාමින්වහන්සේ දකින්නේ නැත. කිසිවකුට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අහිමි නො වන ලෙසට හා ගැටලු මතු කොට බොහෝ දෙනකු අපවිත්‍ර වන තික්තකමේ මුලක් හටගන්නට ඉඩ නො දෙන ලෙසට වග බලා ගන්න. කිසිවකුත් ලිංගික අනාචාරයේ නො ගැලෙන ලෙසට හා එක කෑම වේලකට තම කුලුඳුල්කම විකුණූ ඒසව් මෙන් නො වන ලෙසට වග බලා ගන්න. ඔබ දන්නා පරිදි, පසුව ඔහුට ආශිර්වාදය අවශ්‍ය වූ නමුදු, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබිණි. කඳුළින් යුතු ව පවා කන්නලව් කළ නමුදු එය වෙනස් කිරීමට ඔහු ඉඩ ලද්දේ නැත. මන්ද ඔබ පැමිණ ඇත්තේ, ස්පර්ශ කළ හැකි වූ, ගිනිගෙන දැවෙන, අන්ධකාරයෙන් හා කළුවරින් යුතු, සැඩ කුණාටුවක් වෙතවත්, හොරණෑ හඬක්වත්, තමනට තවත් කතා නො කරන්නැයි ඇසූවන් කන්නලව් කරන්නට සැලසූ කටහඬක් වෙතවත් නො වේ; මන්ද, “සතකු වුව කන්දේ ස්පර්ශ වුණොත් ඌ ගල් ගසා මැරිය යුතු ය” යන නියෝගය ඔවුනට දැරිය නො හැකි වූ බැවිනි. ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බයින් වෙවුලමි” යි මෝසෙස් කීවේ ය. එහෙත් ඔබ පැමිණ ඇත්තේ සියොන් කන්ද වෙතට ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුරවරය වූ ස්වර්ගීය යෙරුසලම වෙතට හා අසංඛ්‍ය වූ දේව දූතයින්ගේ ප්‍රීති ජනක රැස්වීම වෙතට ය

හෙබ්‍රෙව් 12:1-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය