එබැවින් මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් සමූහයක් අප වට කොට සිටින බැවින්, හැම බරක් හා පහසුවෙන් අප පටලවා ගන්නා පාපය පසෙක ලා, අප ඉදිරියේ සලසා ඇති තරඟ දිවුම, අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ම ඇස් යොමා ගෙන, වීර්යයෙන් ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙල ව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක. ඔබ හෙම්බත් වී අධෛර්යට පත් නො වන පිණිස, පාපී මිනිසුන්ගේ ඒ සා එදිරිවාදිකම් ඉවසූ තැනැන්වහන්සේ ගැන සිතා බලන්න. පාපයට එරෙහිව ඔබ කරන පොරබැදීමේදී තවමත් ලේ හැලෙන විරෝධතාවකට පත් ව නැත. පුත්‍රයින් යයි ඔබ අමතන ධෛර්යය ගැන්වීමේ මෙම වචන ඔබට අමතක වූවා ද? “මා පුත, ස්වාමින්වහන්සේගේ හික්මවීම සුළු කොට නො සලකන්න; උන්වහන්සේගෙන් තරවටු ලබන කල නො කලකිරෙන්න; මන්ද ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක; පුත්‍රයකු වශයෙන් පිළිගන්නා සැමට තළන සේක.” ඔබ ඉවසා දරාගත යුත්තේ හික්මීම පිණිස ය. දෙවියන්වහන්සේ ඔබ සලකන්නේ පුත්‍රයින් වශයෙනි. තම පියාණන් විසින් හික්මවනු නො ලබන පුත්‍රයා කවුරු ද? හැම කෙනකු ම හික්මවන පරිදි ඔබ හික්මවනු නො ලබනවා නම්, ඔබ අවජාතකයකු මිස, පුත්‍රයකු නො වේ; ඒ හැර, අප හික්මවූ භූමික පියවරු අපට සිටියහ; අපි ඔවුනට ගරු කළෙමු. එසේ නම්, අප ආත්මවල පියාණන්ට ඊට කොපමණ වැඩියෙන් අප යටත් ව, ජීවත් විය යුතු ද? මන්ද ඔවුන් අප හික්මවූයේ ඔවුන්ට වඩා හොඳයයි පෙනුණු පරිදි ටික කලකට ය. එහෙත් මුන්වහන්සේ අප හික්මවන්නේ අපේ යහපත සඳහා, අප උන්වහන්සේගේ ශුද්ධත්වයට පංගුකාර වන පිණිස ය. හැම හික්මවීමක් ම විඳින කල, එය ප්රියදායි ව නො ව, පීඩාදායි ව පෙනේ; එහෙත් පසුව, එයින් අත්දැකීම් ලද්දවුනට, ධර්මිෂ්ඨකමේ සාමකාමී පල හට ගැනේ. එබැවින් එල්ලා වැටෙන ඔබගේ අත් ඔසවා, පණ නැති දණිස් ශක්තිමත් කර ගන්න. කොර වූ කකුල්-සන්ධි නො ගැලවී ඒවා සුව වන පිණිස, ඔබේ පාදවලට සමතල මාවත් තනා ගන්න. සියලු දෙනා සමඟ සාමයෙන් විසීමටත්, ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමටත් පරිශ්රම දරන්න. ශුද්ධත්වයෙන් තොර ව කිසිවකුත් ස්වාමින්වහන්සේ දකින්නේ නැත.
හෙබ්‍රෙව් 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හෙබ්‍රෙව් 12:1-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ