හෙබ්‍රෙව් 11:9-16
හෙබ්‍රෙව් 11:9-16 SCV
තමා හා එක ම පොරොන්දුවේ උරුමකරුවන් වූ ඊසාක් හා යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කරමින්, පොරොන්දු වූ දේශයේ, විදේශයක මෙන් ජීවත්වීමට ඔහු ගියේ ඇදහිල්ලෙනි. මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය. පොරොන්දු වූ තැනැන්වහන්සේ විශ්වසනීය වග පිළිගත් බැවින්, තමාගේ නිසි වයස පසුවී වුව ද සාරා පිළිසිඳ ගැනීමට බලය ලද්දේ ඇදහිල්ලෙනි. මළ මිනිසකු වැනි වූ එක මිනිසකුගෙන් අහසේ තරු මෙන් බොහෝ වූ ද මුහුදු වෙරළේ වැලි මෙන් අනන්ත වූ ද දරු පරපුරක් බිහි වූයේ එබැවිනි. ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකු ම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි. මන්ද මෙසේ පවසන අය තමන්ගේ ම වාස-භූමියක් සොයනා වග ප්‍රකට කරති. තමන් පිටත් ව ආ දේශය, තමන්ගේ දේශය වශයෙන් ඔවුහු සිතා සිටියාහු නම්, ආපසු එහි හැරී යෑමට ඔවුනට අවස්ථාව තිබිණි. එහෙත් ඔවුන් ආශාවෙන් පසු වූයේ, වඩා උතුම් දේශයක්, ස්වර්ගීය දේශයක් ගැන ය. එබැවින් දෙවියන්වහන්සේ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ යැයි අමතනු ලැබීමට ලජ්ජා නො වූ සේක. උන්වහන්සේ ඔවුනට ස්වර්ගීය පුරවරයක් සූදානම් කොට තැබූ සේක.

