හෙබ්‍රෙව් 10:10-31

හෙබ්‍රෙව් 10:10-31 SCV

එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු. අනෙක් හැම පූජකයෙක් ම, පාප දුරු කළ නො හැකි එක ම විදියේ යාග පූජා යළි යළිත් ඔප්පු කරමින්, තම මෙහෙවරට දිනපතා සිටගනියි. එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක. එතැන් පටන්, තම සතුරන් තම පාදවලට යටත් කරනු ලබන තෙක්, උන්වහන්සේ බලා සිටින සේක. මන්ද පවිත්‍රත්වයට පමුණුවනු ලබන්නවුන්, ඒ එක ම පූජාවෙන් උන්වහන්සේ හැම කාලයකට ම සම්පූර්ණත්වයට පත් කළ සේක. ශුද්ධාත්මයාණන්වහන්සේත් ඒ ගැන අපට සාක්ෂි දෙමින් පළමු කොට මෙසේ කියන සේක: “ඒ දවස්වලට පසු, මා ඔවුන් සමඟ කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; මම, මගේ ආඥා ඔවුන්ගේ හදවත්හි තබා, ඔවුන්ගේ මනස්හි ඒවා ලියන්නෙමි.” උන්වහන්සේ මෙසේ ද කියන සේක: “ඔවුන්ගේ පව් හා ඔවුන්ගේ නොපනත්කම්, මම තවත් සිහි නො කරන්නෙමි.” මේවාට කමාව ඇත්තේ කොතැන ද, එතැන පාප උදෙසා යාග පූජාවල අවැසිතාවක් ද නැත. එබැවින් සහෝදරයිනි, යේසුස්වහන්සේගේ ලේ මගින් ශුද්ධස්ථානයනට ඇතුළු වීමේ සහතිකය අපට තිබෙන බැවින්, ස්වකීය ශරීරය නැමති තිරය මැදින් ඇතුළු වීමේ අලුත්, ජීවමාන මාර්ගයක් අපට විවෘත කර දුන් බැවින් හා දෙවියන්වහන්සේගේ ගෘහයට අදාළ ශ්‍රේෂ්ඨ පූජකයාණන් කෙනකු අපට සිටින බැවින්, ඉසිනු ලැබීමෙන් අප හදවත් වරදකාර හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ, අප සිරුරු පිරිසිදු දියෙන් සෝදනු ලැබ, ඇදහිල්ලේ පූර්ණ විශ්වාසයෙන් යුතු අවංක හදවතින් ළඟා වෙමු. පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු. තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු; ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළං ව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු. සත්‍යය අවබෝධය ලද පසුත්, අප දැන දැන ම පව් කරනවා නම්, පාප උදෙසා යාගයක් තවත් ඉතිරි ව නැත; ඇත්තේ විනිශ්චය ගැනත්, සතුරන් දවා දමන උදහස් ගින්න ගැනත් බියජනක බලාහිඳීමක් පමණි. මෝසෙස්ගේ නීතිය ප්‍රතික්ෂේප කරන කවරකු වුව, දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි මත දයාවක් නො ලබා මරණයට පත් කරනු ලබයි. ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද? මන්ද, “පළි ගැනීම මගේ ය; මම ප්‍රතිවිපාක දෙන්නෙමි” යි ද යළිත්, “ස්වාමින්වහන්සේ තම ජනයා විනිශ්චය කරන සේකැ” යි ද පැවසූ තැනැන්වහන්සේ කවුරුදැයි අපි දනිමු. ජීවමාන දෙවියන්වහන්සේගේ හස්තයට හසුවීම භයංකර ය.