උත්පත්ති 8:1-12

උත්පත්ති 8:1-12 SCV

එහෙත් දෙවියන්වහන්සේ නෝවා ද ඔහු සමඟ නැව තුළ සිටි සියලු වන සතුන් හා සියලු ඇති කරන සතුන් ද වෙත සිත් යොමු කළ සේක්, පොළොව හරහා සුළඟක් හමන්නට සැලසූ සේක. එවිට ජලය බැස යන්නට විය. භූ පත්ලේ ජල උල්පත් හා අහසේ ජල දොරවල් වසා තිබිණි. අහසින් ඇද හැලුණු වැස්ස ද නවතනු ලැබ තිබිණි. ජලය ක්‍රමයෙන් පොළොවෙන් බැස යන්නට විය. දවස් එකසිය පනහකට පසු ජල මට්ටම පහළ බැස්සේ ය. හත් වන මස දහහත් වන දින නැව අරාරට් කඳු මත නැවතිණ. දහ වන මස තෙක් ක්‍රමයෙන් ජලය බැස ගියේ ය. දහ වන මස පළමු වන දින, කඳු මුඳුන් දිස් වන්නට විය. සතළිස් දවසකට පසු, නෝවා නැවෙහි තමා සෑදූ කවුළුව ඇර, කපුටකු පිටතට යැවී ය. පොළොව මත ජලය සිඳෙන තුරු ඌ ඔබ මොබ පියාසැරී ය. පසුව නෝවා, පොළොව මතු පිටින් ජලය බැස ගියේ දැයි බලන පිණිස, පරෙවියකු පිටතට යැවී ය. එහෙත් පොළෝ තලය මුළුල්ල ම ජලයෙන් වැසී තිබූ බැවින්, පය ගසන්නට තැනක් හමු නො වූයෙන්, පරෙවියා නෝවා වෙත ආපසු නැවට ආවේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා, තමා වෙත නැව තුළට ගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා, යළිත් නැවෙන් පිටතට පරෙවියා යැවී ය. පරෙවියා සවස ඔහු වෙත ආපසු පැමිණියේ ය. එවිට මෙන්න! උගේ හොටෙහි වූයේ අලුත කැඩූ අමු ඔලීව කොළයකි. එබැවින් පොළොවෙන් ජලය බැස ගොස් ඇති වග නෝවා දැනගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා යළිත් පරෙවියා පිටතට යැවී ය. එහෙත් මෙවර ඌ ආපසු ඔහු වෙත ආවේ නැත.