උත්පත්ති 7:6-24

උත්පත්ති 7:6-24 SCV

පොළොව මතට ජලගැල්ම පැමිණෙන විට නෝවාගේ වයස අවුරුදු හයසියයක් විය. ජලගැල්මෙන් බේරෙනු පිණිස, නෝවා තම පුතුන් ද තම භාර්යාව හා තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව නැවට ඇතුළු වූයේ ය. පවිත්‍ර සහ අපවිත්‍ර සතුන් ද පක්ෂීන් හා බිම බඩ ගා යන සියලු උරගයින් ද ජෝඩු වශයෙන්, එනම් පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් නෝවා වෙත නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. හත් දවසකට පසු, ජලගැල්ම පොළොව පිටට පැමිණියේ ය. නෝවාගේ ජීවිතයේ හයසිය වන අවුරුද්දේ දෙවන මාසයේ, දහහත් වන දිනදී ම භූ පත්ලේ සියලු ජල උල්පත් පුපුරා ඇරිණි; අහසේ ජල දොරවල් ද විවර කෙරිණි. මහ වරුසාව දහවල හතළිහක් හා රෑ හතළිහක් නොකඩවා පොළොව පිට ඇද හැලිණි. ඒ දවසේදී ම නෝවා සහ ඔහුගේ පුතුන් තිදෙනා වන ෂේම්, හාම් හා යාෆෙත් ද ඔවුන් සමඟ නෝවාගේ භාර්යාව හා ඔහුගේ පුතුන්ගේ භාර්යාවන් තිදෙනා ද නැවට ඇතුළු වූහ. ඔවුන් සමඟ ඒ ඒ හැම වර්ගවල වන සත්තු ද ඒ ඒ හැම වර්ගවල සියලු ගව-මහීෂාදී සත්තු ද පොළොව පිට ඇදෙන ඒ ඒ වර්ගවල උරග හා හැම වර්ගයක ම පක්ෂීහු ද ඉගිළෙන සියලු සත්ව විශේෂ ද වූහ. ජීවන හුස්ම ඇති සියලු සත්වයෝ යුගල බැගින් නෝවා වෙත අවුත් නැවට ඇතුළු වූහ. මෙසේ, සජීවී සතුන් පිරිමි සතකු හා ගැහැනු සතකු බැගින් නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. ඔහු එහි ඇතුළු කොට, ස්වාමින්වහන්සේ නැවේ දොර වැසූ සේක. ජලගැල්ම දවස් හතළිහක් පුරා පොළොවේ පැවතිණ. ජල කඳ නැගෙත් ම, නැව ද පොළොවෙන් උඩට එසවිණ. ජලය බෙහෙවින් නැගි නැගී වැඩි වෙත් ම, නැව ජල මතු පිට පා විණි. මිහි මත වඩ වඩා නැගී ආ මහ ජල කඳ, අහසින් යට තිබූ උස් කඳු සියල්ල යට කර දැමී ය. එසේ නැගුණු ජල කඳ, කඳුවලට රියන් පහළොවක් ඉහළින් වැසී ගත්තේ ය. මිහි පිට ගැවසුණු සජීව සියල්ලන් වූ පක්ෂීහු, ගව-මහීෂාදී සත්තු, වන සත්තු හා පොළොව පිට ඇදෙන සියලු ජීවීන් ද මුළු මිනිස් වර්ගයා ද විනාශ වූහ. නාස් පුඩුවල ජීවන හුස්ම ඇති ව ගොඩ බිම සිටි සැවොම මළහ. උන්වහන්සේ, මිනිසුන් සහ සතුන් ද බිම බඩගාන උරගයන් හා අහස් පක්ෂීන් ද පොළොවෙන් තුරන් කර දැමූ සේක. පොළෝ තලයේ විසූ ජීවමාන සියල්ල සහමුලින් ම විනාශ කෙරිණි. නෝවා පමණක් නැවෙහි ඔහු හා සිටි අය සමඟ ඉතිරි විය. ජලය දින එකසිය පනහක් ම පොළොව යට කර පැවතියේ ය.