ස්වාමින්වහන්සේ ඉන්පසු නෝවා ඇමතූ සේක්, “ඔබත්, ඔබේ මුළු පවුලත් නැවට ඇතුළු වන්න. මන්ද මේ පරපුරේ ඔබ පමණක් ධර්මිෂ්ඨ වග මම දුටිමි. හැම වර්ගයක ම පවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩු හත බැගින් ද අපවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩුවක් බැගින් ද හැම වර්ගයක ම පක්ෂීන්ගෙන් කුරුල්ලකු හා උගේ කිරිල්ල යන වශයෙන් කුරුලු ජෝඩු හත බැගින් ද ඒ ඒ සත්ව වර්ග පොළෝ තලේ නො නැසී පැවැත්ම සඳහා ඔබ කැටිව ගෙන යන්න. තව හත් දවසකින් දහවල හතළිහක් හා රෑ හතළිහක් එක දිගට පොළොව පිට වැසි වස්සන්නෙමි. එසේ මා විසින් සාදන ලද හැම සජීවී සතකු ම පොළෝ තලයෙන් තුරන් කර දමන්නෙමි” යි පැවසූ සේක. නෝවා, ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල කළේ ය. පොළොව මතට ජලගැල්ම පැමිණෙන විට නෝවාගේ වයස අවුරුදු හයසියයක් විය. ජලගැල්මෙන් බේරෙනු පිණිස, නෝවා තම පුතුන් ද තම භාර්යාව හා තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව නැවට ඇතුළු වූයේ ය. පවිත්‍ර සහ අපවිත්‍ර සතුන් ද පක්ෂීන් හා බිම බඩ ගා යන සියලු උරගයින් ද ජෝඩු වශයෙන්, එනම් පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් නෝවා වෙත නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. හත් දවසකට පසු, ජලගැල්ම පොළොව පිටට පැමිණියේ ය. නෝවාගේ ජීවිතයේ හයසිය වන අවුරුද්දේ දෙවන මාසයේ, දහහත් වන දිනදී ම භූ පත්ලේ සියලු ජල උල්පත් පුපුරා ඇරිණි; අහසේ ජල දොරවල් ද විවර කෙරිණි. මහ වරුසාව දහවල හතළිහක් හා රෑ හතළිහක් නොකඩවා පොළොව පිට ඇද හැලිණි. ඒ දවසේදී ම නෝවා සහ ඔහුගේ පුතුන් තිදෙනා වන ෂේම්, හාම් හා යාෆෙත් ද ඔවුන් සමඟ නෝවාගේ භාර්යාව හා ඔහුගේ පුතුන්ගේ භාර්යාවන් තිදෙනා ද නැවට ඇතුළු වූහ. ඔවුන් සමඟ ඒ ඒ හැම වර්ගවල වන සත්තු ද ඒ ඒ හැම වර්ගවල සියලු ගව-මහීෂාදී සත්තු ද පොළොව පිට ඇදෙන ඒ ඒ වර්ගවල උරග හා හැම වර්ගයක ම පක්ෂීහු ද ඉගිළෙන සියලු සත්ව විශේෂ ද වූහ. ජීවන හුස්ම ඇති සියලු සත්වයෝ යුගල බැගින් නෝවා වෙත අවුත් නැවට ඇතුළු වූහ. මෙසේ, සජීවී සතුන් පිරිමි සතකු හා ගැහැනු සතකු බැගින් නැවට ඇතුළු වූයේ, දෙවියන්වහන්සේ නෝවාට අණ කර තිබූ පරිද්දෙනි. ඔහු එහි ඇතුළු කොට, ස්වාමින්වහන්සේ නැවේ දොර වැසූ සේක.
උත්පත්ති 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 7:1-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ