උත්පත්ති 6:1-12

උත්පත්ති 6:1-12 SCV

මිනිසුන් මිහි පිට වැඩි වන්නට පටන් ගෙන, ඔවුනට දූවරුන් උපන් කල, මිනිස් දූවරුන් සුරූපී වග දුටු දේව-පුත්‍රයෝ තමන් රිසි වූ අය තම භාර්යාවන් කොට ගත්හ. ස්වාමින්වහන්සේ එවිට, “මගේ ආත්මය සදහට ම මිනිසා සමඟ විවාද කරන්නේ නැත. මන්ද ඔහු මාංසමය වන බැවිනි. ඔහුගේ ආයු කාලය වසර එකසිය විස්සක් වනු ඇතැ” යි කී සේක. එකල්හිත්, ඉන්පසුවත් යෝධයෝ මිහි පිට විසූහ. දේව-පුත්‍රයින් මිනිස් දූවරුන් වෙත එළැඹි කල්හි ඔවුනට පුතුන් ලැබිණ. ඉපැරණි වීරයන් වූ කීර්තිමත් මිනිස්සු ඔවුහු ය. මිහි පිට මනුෂ්‍යයාගේ දුෂ්ටකම් කොතෙක් මහත් වී ද යන්නත්, ඔහුගේ හදෙහි අදහස්වල සෑම නැඹුරුවීමක් ම, හැම විට නපුරට ම බවත් ස්වාමින්වහන්සේ දුටු සේක. තමා මිහි පිට මනුෂ්‍යයා සෑදීම ගැන ස්වාමින්වහන්සේ තැවුණු සේක. උන්වහන්සේගේ හද වේදනාවෙන් පෙළුණි. එබැවින් ස්වාමින්වහන්සේ, “මිනිස් සංහතිය, මා විසින් මවන ලද මිනිස් සංහතිය හා සතුන් ද උරගයින් හා අහස් පක්ෂීන් ද මිහි පිටින් තුරන් කර දමන්නෙමි. මා ඔවුන් සෑදීම ගැන මම තැවෙන්නෙමි” යි කී සේක. එහෙත් නෝවා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ ප්‍රසාදය ලද්දේ ය. නෝවාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය. ධර්මිෂ්ඨ මිනිසකු වූ නෝවා, ඔහුගේ කාලයේ මිනිසුන් අතර නිදොස් මිනිසා විය. ඔහු දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. නෝවාට ෂේම්, හාම් හා යාෆෙත් නම් වූ පුතුන් තිදෙනෙක් වූහ. මේ වන විට පොළොව දෙවියන්වහන්සේ හමුවෙහි දූෂිත ව, සැහැසිකමින් පිරී තිබිණි. දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූ සේක. එවිට මෙන්න! එය දූෂිත ව තිබිණි. මන්ද පොළොවේ සියලු ජනයා සිටියේ තම මාර්ග දූෂ්‍ය කර ගෙන ය.