උත්පත්ති 50:14-21
උත්පත්ති 50:14-21 SCV
තම පියා වළ දැමූ පසු, යෝසෙප් තම සහෝදරයින් ද ඔහුගේ පියා වැළලීමට ඔහු සමඟ ගිය සියල්ලන් ද කැටිව ඊජිප්තුවට ආපසු ආවේ ය. යෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මිය ගිය වග දුටු කල, “යෝසෙප් අප හා වෛර බඳිමින්, අප ඔහුට කළ සියලු වැරදිවලට අපෙන් පළිගත හැකි යැ” යි පැවසූහ. එබැවින් ඔවුහු යෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ පියා මිය යන්නට කලින් මෙසේ උපදෙස් දී ඇත. එනම්: ‘නුඹලා යෝසෙප්ට මෙසේ කිය යුතුයි; ඔබගේ සහෝදරයින්ගේ පාපයත්, ඔබට නපුර කරමින්, ඔවුන් කළ වරදත් ගැන ඔවුන්ට කමා වන මෙන් ඔබෙන් ඉල්ලමි!’ යන්නයි. එබැවින් කරුණා පා, දැන් ඔබේ පියාගේ දෙවියන්වහන්සේගේ සේවකයින්ගේ පාපයට කමාවන්නැ” යි කීහ. එම පණිවුඩය යෝසෙප් වෙත ආ කල, ඔහු හඬන්නට වන්නේ ය. එවිට ඔහුගේ සහෝදරයෝ ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියේ බිම වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයින්” යයි කීවෝ ය. එහෙත් යෝසෙප් ඔවුන් අමතමින්, “භය වෙන්න එපා; දෙවියන්වහන්සේගේ තැන ගන්නට මට පුළුවනි ද? මට නපුරක් කරන්නට නුඹලා අදහස් කළත්, දෙවියන්වහන්සේ ජීවිත බොහොමයක් ගලවමින්, දැන් සිදු වී ඇති පරිදි, එය යහපතට අදහස් කළ සේක. එබැවින් භය වෙන්න එපා. මා නුඹලාත්, නුඹලාගේ දරුවනුත් නඩත්තු කරනවා” යි කීවේ ය. මෙසේ ඔහු කාරුණික ව ඔවුන්ට කතා කරමින්, ඔවුන් සැනසවී ය.

