උත්පත්ති 48:8-19

උත්පත්ති 48:8-19 SCV

ඉන්පසු යෝසෙප්ගේ පුතුන් දුටු ඉශ්‍රායෙල්, “මේ කවුරු දැ?” යි ඇසී ය. “දෙවියන්වහන්සේ මට මෙහිදී දුන් පුත්තු මොවුහු” යි යෝසෙප් තම පියාට කීවේ ය. එවිට ඉශ්‍රායෙල්, “මා ඔවුන්ට ආශිර්වාද කරන පිණිස, ඔවුන් මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. මහලු වයස නිසා ඉශ්‍රායෙල්ගේ ඇස් දුර්වල ව, නො පෙනෙන තත්වයකට ඔහු පත් ව සිටියේ ය. එබැවින් යෝසෙප් ඔහු ළඟට ඔවුන් ගෙන ගියේ ය. ඔහු ඔවුන් සිප, වැලඳ ගත්තේ ය. එවිට ඉශ්‍රායෙල්, යෝසෙප් අමතමින්, “කිසි දවසක ඔබේ මුහුණ යළි දකින්නට ලැබෙතැයි මා සිතුවේ නෑ. එහෙත් දැන් ඔබේ දරුවන්ගේ මුහුණු දකින්නටත් දෙවියන්වහන්සේ මට ඉඩ සලසා දී තියෙනවා” යි කීවේ ය. ඉන්පසු යෝසෙප්, තම පියාගේ දෙදණ වෙතින් ඔවුන් පසෙකට ගෙන, මුහුණ බිමට නමා ආචාර කළේ ය. ඉන්පසු යෝසෙප් ඔවුන් දෙදෙනා අතින් ගෙන, එප්‍රායිම්, ඉශ්‍රායෙල්ගේ වමත දෙසට සිටින සේ ඔහු තම දකුණතින් ද මනස්සේ, ඉශ්‍රායෙල්ගේ දකුණත දෙසට සිටින සේ ඔහු තම වමතින් ද ගෙන, ඉශ්‍රායෙල් ළඟට ඔවුන් ගෙන ගියේ ය. එහෙත් ඉශ්‍රායෙල් අත් මාරුකොට, තම දකුණත දිගු කොට බාලයා වූ එප්‍රායිම්ගේ හිස මත තබා, මනස්සේ කුලුඳුලා වුව ද, ඔහුගේ හිස මත තම වමත තැබී ය. ඉන්පසු ඔහු යෝසෙප්ට ආශිර්වාද කරමින්, “මගේ පියවරුන් වන ආබ්‍රහම් හා ඊසාක් හැසිරුණු අභිමුඛය හිමි දෙවියන්වහන්සේ, මේ දවස දක්වා මගේ ජීවිතය පුරා මගේ එඬේරාණන් වූ දෙවියන්වහන්සේ, සියලු උවදුරින් මා ගැලවූ දේව දූතයාණන්වහන්සේ, මේ දරුවනට ආශිර්වාද කරන සේක්වා! මගේ නාමයෙන් ඔවුහු අමතනු ලබත්වා! මගේ පියවරුන් වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද නාමය ලබත්වා! මේ මිහිතලය මත ඔවුහු අතිශයෙන් වැඩි වෙත්වා!” යි පැවසී ය. තම පියා, ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තබනු දුටු යෝසෙප් ඊට රිසි නො වී, එප්‍රායිම්ගේ හිස වෙතින් අත ඉවත් කර, මනස්සේගේ හිස මත තබන පිණිස තම පියාගේ අත ඇල්ලී ය. යෝසෙප් තම පියාට කතා කොට, “එහෙම නො වේ මගේ පියාණෙනි, මොහුයි කුලුඳුලා. ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ” යි කීවේ ය. එහෙත් ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මා දන්නවා, මා පුත, මා දන්නවා. ඔහුත් ජනතාවක් වෙනවා ඇති; ඔහුත් ශ්‍රේෂ්ඨ වනු ඇති. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහුගෙන් පැවත එන්නෝ ජාතීන් සමූහයක් බවට පත් වන්නෝ යැ” යි පැවසී ය.