උත්පත්ති 47

47
1යෝසෙප්, පාරාවෝ වෙත ගොස්, ඔහු අමතමින්, “මගේ පියා හා මගේ සහෝදරයින් ඔවුන්ගේ එළු බැටළු හා ගව රංචු ද ඔවුන් සතු හැම දේ ද ගෙන, කානාන් දේශයේ සිට අවුත්, දැන් ගෝෂෙන්හි සිටිතැ” යි කීවේ ය. 2ඔහු තම සහෝදරයින්ගෙන් පස් දෙනකු තෝරා, පාරාවෝ ඉදිරියට ඔවුන් පැමිණ වී ය.
3එවිට පාරාවෝ එම සහෝදරයින් අමතමින්, “ඔබේ ජීවනෝපාය කුමක් දැ?” යි ඇසී ය.
ඔවුහු පාරාවෝට පිළිතුරු දෙමින්, “ඔබේ සේවකයින් වන අප, අපේ පියවරුන් වගේ ම එඬේරුන් යැ” යි කීහ. 4ඔවුහු තවදුරටත් කතා කරමින්, “අප ආවේ මේ දේශයේ මද කලක් නවතින්නටයි. කානාන් දේශයේ සාගතය දරුණු බැවින්, ඔබගේ සේවකයන්ගේ එළු බැටළු රංචුවලට තණ බිම් නැත. එබැවින් දැන්, ගෝෂෙන් පළාතේ පදිංචි වීමට ඔබගේ සේවකයනට ඉඩ දෙන්නැ” යි කීහ.
5එවිට පාරාවෝ, යෝසෙප්ට කතා කොට, “ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් ඔබ වෙත ඇවිල්ලා. 6ඊජිප්තු දේශය ම ඔබ ඉදිරියේයි. ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් දේශයේ හොඳ ම කොටසේ පදිංචි කරවන්න. ඔවුන් ගෝෂෙන් පෙදෙසේ වාසය කළා වේ. ඔවුන් අතරේ විශේෂ හැකියාවක් ඇති අය සිටිනවා නම්, මගේ සත්ව සම්පත් ඔවුන්ගේ බාරයට පත් කරන්නැ” යි කීවේ ය.
7ඉන්පසු යෝසෙප් තම පියා වූ යාකොබ් කැඳවා, පාරාවෝ ඉදිරියට පැමිණ වී ය. යාකොබ්, පාරාවෝට ආශිර්වාද කළේ ය. 8එවිට පාරාවෝ, යාකොබ් අමතමින්, “ඔබගේ ජීවිතයේ අවුරුදු ගණන කොපමණ දැ?” යි ඇසී ය.
9යාකොබ්, පාරාවෝට පිළිතුරු දෙමින්, “මගේ ජීවිත ගමන අවුරුදු එකසිය තිහකි. මගේ ජීවන අවුරුදු අල්ප ය; දුෂ්කර ය. මගේ පියවරුන්ගේ ජීවිත ගමන් කාලයට ඒවා සම කළ නොහැක්කේ යැ” යි පැවසී ය. 10ඉන්පසු පාරාවෝට ආශිර්වාද කළ යාකොබ්, ඔහු ඉදිරියෙන් නික්ම ගියේ ය.
11එබැවින් යෝසෙප් තම පියා හා තම සහෝදරයින් ඊජිප්තුවේ පදිංචි කරවමින්, පාරාවෝ නියම කළ පරිදි දේශයේ සාරවත් ම පෙදෙස වන රාමසෙස්හි ඔවුන්ට ඉඩම් ලබා දුන්නේ ය. 12තවද යෝසෙප්, තම පියාට ද තම සහෝදරයින්ට ද තම පියාගේ පවුලේ සියල්ලන්ට ද ඒ ඒ අයගේ පවුලේ ගණන අනුව, ඔවුන්ට ආහාර ද සැපයී ය.
සාගතය හා යෝසෙප්
13සාගතය කොතරම් සැහැසි වී ද යත්, දේශයේ කොතැනකවත් ආහාර නො වී ය. සාගතයෙන් ඊජිප්තු දේශයත්, කානාන් දේශයත් නැති නාස්ති වී ගියේ ය. 14යෝසෙප් ඊජිප්තු දේශයේ ද කානාන් දේශයේ ද වූ සියලු මුදල්, ජනයා මිලයට ගත් ධාන්‍යවලට ගාස්තුව වශයෙන් එකතු කර ගත්තේ ය. ඔහු ඒවා පාරාවෝගේ මාලිගාවට ගෙනාවේ ය. 15ඊජිප්තු දේශයේ හා කානාන් දේශයේ ජනයා අත වූ මුදල් වියදම් වූ පසු, සියලු ඊජිප්තුවරු යෝසෙප් වෙත පැමිණ, “අපට ආහාර දෙන්න. ඔබේ ඇස් හමුවේ අප මැරී යන්නේ කුමට ද? මන්ද අපේ මුදල් ඉවර වෙලා!” යි පැවසූහ.
16එවිට යෝසෙප්, “එසේ නම් ඔබේ සත්ව සම්පත ගෙනෙන්න. නුඹලාගේ මුදල් ඉවර වී ඇති නිසා, නුඹලාගේ සත්ව සම්පතට හුවමාරු වශයෙන් මම නුඹලාට ආහාර දෙන්නම්” යි කීවේ ය. 17එබැවින් ඔවුහු තමන්ගේ සතුන්, යෝසෙප් වෙත ගෙන ආහ. යෝසෙප් ඔවුන්ගේ අශ්වයින්ට ද ඔවුන්ගේ එළුවන් හා බැටළුවන්ට ද ගවයින් හා බූරුවන්ට ද හුවමාරු වශයෙන් ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙසේ, ඔවුන්ගේ මුළු සත්ව සම්පතට හුවමාරු වශයෙන් ආහාර සපයා, එම වසරේ ඔහු ඔවුන් පෝෂ්‍ය කළේ ය.
18එම වසර ගෙවී ගිය පසු, ඔවුහු ඊළඟ වසරේ ඔහු වෙත අවුත්, “අපගේ මුදල් සියල්ල ඉවර වී ඇති වගත්, අපගේ සත්ව සම්පත ඔබට අයිති වූ වගත් අපගේ ස්වාමියාගෙන් වසන් කරන්නට අපට නුපුළුවන. දැන් අපගේ ම ශරීර හා අපගේ ඉඩම් මිස, අප ස්වාමියාණන්ට දිය හැකි කිසිවක් ඉතිරි වී නැත. 19ඔබගේ ඇස් හමුවේ අපත්, අප සමඟ අපගේ ඉඩ කඩම් වැනසී යන්නේ කුමට ද? ආහාරවලට හුවමාරු වශයෙන් අප ද අපගේ ඉඩම් ද මිලයට ගන්න. එවිට අපගේ ඉඩම් සමඟ අප පාරාවෝගේ දාස භාවයට පත් වී, අප ජීවත් වන පිණිසත්, නො නස්නා පිණිසත්, දේශය පාළු වී නො යන පිණිසත් අපට බීජ දෙන්නැ” යි කීහ.
20මෙසේ යෝසෙප් ඊජිප්තුවේ සියලු ඉඩම් පාරාවෝට මිලයට ගත්තේ ය. ඊජිප්තුවරු හැම දෙනා තමන්ගේ ඉඩම් විකුණූහ. මන්ද සාගතය ඔවුන්ට අතිශයෙන් සැහැසි විය. දේශය පාරාවෝට හිමි විය. 21යෝසෙප් ඊජිප්තුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ජනයා, දාස භාවයට#47:21 දාස භාවයට ඇතැම් අනුවාදවල ජනයා පුරවරවලට පැමිණෙවුවේ ය. යටත් කළේ ය. 22එසේ වුව ද ඔහු පූජකයින්ගේ ඉඩම් මිලයට ගත්තේ නැත. පාරාවෝගෙන් ඔවුන්ට නිත්‍ය සලාකයක් ලැබිණ. ඔවුන් යැපුණේ පාරාවෝ ඔවුන්ට දුන් සලාකයෙනි. ඔවුන් තම ඉඩම් විකුණුවේ නැත.
23යෝසෙප් ජනතාව අමතමින්, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩම් ද පාරාවෝට මිලයට ගත්තෙමි. පොළොව වැපිරීමට මෙන්න නුඹලාට බීජ. 24අස්වනු ලැබුණු කල, එයින් පහෙන් පංගුවක් පාරාවෝට දිය යුතු ය. ඉතිරි පහෙන් පංගු හතර ඔබට ය. ඒවා කෙත්වලට බීජ සඳහාත්, ඔබගේ ද ඔබගේ පවුල්වල අයගේ ද ඔබේ දරුවන්ගේ ද ආහාර සඳහාත් යැ” යි කීවේ ය.
25එවිට ඔවුහු, “ඔබතුමා අපගේ ජීවිත ගැලවී ය. අපගේ ස්වාමියාගේ ඇස් හමුවේ අපට කරුණාව ලැබේවා. අපි, පාරාවෝගේ දාස භාවයට පත් වන්නෙමු” යි කීහ.
26මෙසේ අද දවස දක්වාත් ඊජිප්තු දේශයෙහි බල පැවැත්වෙන පරිදි, නිෂ්පාදනයෙන් පහෙන් පංගුව පාරාවෝට ය යන නියමය යෝසෙප් විසින් ස්ථාපිත කරන ලදී. පාරාවෝට හිමි නො වූයේ පූජකයින්ගේ ඉඩම් පමණි.
27මේ අතර ඉශ්‍රායෙල්, ඊජිප්තු දේශයේ ගෝෂෙන් පළාතේ වාසය කළෝ, එහි ඉඩම් අත්කර ගෙන, වඩ වඩා සඵල ව ගණනින් ද බොහෝ සේ වැඩි වර්ධන වූහ.
28යාකොබ් ඊජිප්තු දේශයේ දාහත් වසරක් වාසය කළේ ය. යාකොබ්ගේ ජීවිත කාලය අවුරුදු එකසිය හතළිස් හතකි. 29ඉශ්‍රායෙල් මියැදීමට කාලය ළං වූ කල, ඔහු තම පුත් යෝසෙප් කැඳවා, ඔහු අමතමින්, “ඔබගේ ප්‍රසාදය මට ලැබී ඇත්නම්, මගේ කලවය යට ඔබේ අත තබා, දිවුරා, මට කරුණාවත්, විශ්වාසවන්තකමත් දක්වන බවට මට පොරොන්දු වන්න. ඊජිප්තුවෙහි මා භූමදාන නො කරන්න. 30මගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි, ඊජිප්තුවෙන් පිටතට මා ගෙන ගොස්, ඔවුන් වැළලූ තැන්හි ම මා ද වළලන්නැ” යි කීවේ ය.
“ඔබ කී පරිදි මම කරන්නෙමි” යි ඔහු පැවසී ය.
31“මට දිවුරන්නැ” යි ඔහු කීවේ ය. එවිට යෝසෙප් ඔහුට දිවුළේ ය. ඉන්පසු ඉශ්‍රායෙල් තම යහනේ ඉස්මත්තට#47:31 යහනේ ඉස්මත්තට ග්‍රීක සැරයටිය බර වී, නමස්කාර කළේ ය.

දැනට තෝරාගෙන ඇත:

උත්පත්ති 47: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න