උත්පත්ති 46:26-34

උත්පත්ති 46:26-34 SCV

යාකොබ්ගේ පුතුන්ගේ භාර්යාවන් හැර, යාකොබ් සමඟ ඊජිප්තුවට ගිය ඔහුගෙන් ම උපන් සියල්ලෝ ගණනින් හැටහය දෙනෙකි. ඊජිප්තුවේදී යෝසෙප්ට උපන් පුතුන් දෙදෙනා ද ඇතුළු ව ඊජිප්තුවට ගිය යාකොබ්ගේ පවුලේ සාමාජිකයින් සියල්ලෝ ගණනින් හැත්තෑ දෙනෙකි. ගෝෂෙන් වෙත යන මාර්ගය විමසමින්, යාකොබ් තමාට පෙරටුව යෝසෙප් වෙත යූදා පිටත් කර යැවී ය. ඔවුන් ගෝෂෙන් පළාතට ළඟා වූ කල, යෝසෙප් තම අශ්ව රථය සූදානම් කොට, තම පියා වූ ඉශ්‍රායෙල් හමුවට ගෝෂෙන් බලා ගියේ ය. යෝසෙප් තම පියා ඉදිරියට වන් කෙණෙහි තම දෑතින් ඔහුගේ ගෙල බදා, ඔහුගේ උර මත බොහෝ වේලාවක් හැඬී ය. එවිට ඉශ්‍රායෙල්, යෝසෙප් අමතමින්, “දැන් ඉතින් මට මැරෙන්නට පුළුවන. මන්ද මම ඔබගේ මුහුණ දැක, ඔබ තවමත් ජීවත් වන වග දැක බලා ගතිමි” යි කීවේ ය. ඉන්පසු යෝසෙප්, තම සහෝදරයින් ද තම පියාගේ පවුලේ අය ද අමතමින්, “පාරාවෝ අමතන්නට මා දැන් ඔහු වෙත ගොස්, ඔහුට කතා කොට, ‘කානාන් දේශයේ වෙසෙන මගේ සහෝදරයින් හා මගේ පියාගේ පවුලේ උදවිය මා වෙත ඇවිදින් ඉන්නවා. ඒ මිනිස්සු එඬේරු. සතුන් ඇති කරන්නන්. ඔවුන් තම එළු බැටළු රංචු ද ගව රංචු ද ඔවුන් සතු හැම දේ ද තමන් සමඟ ගෙනවුත් ඇතැ’ යි කියන්නෙමි. පාරාවෝ ඔබට අඬගසා, ‘ඔබගේ රැකියාව කුමක් දැ?’ යි ඇසූ කල, ඔබ පිළිතුරු දෙමින්, ‘ඔබගේ සේවකයින් වන අප, අපේ පියවරුන් කළාක් මෙන් බාල වයසේ පටන් සතුන් ඇති කරන අය ය’ කියා කිව යුතුයි. එවිට ගෝෂෙන් පළාතේ පදිංචි වීමට ඔබට හැකි වෙයි. මන්ද ඊජිප්තුවරුනට සියලු එඬේරුන් පිළිකුල් යැ” යි කීවේ ය.

උත්පත්ති 46:26-34 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය