උත්පත්ති 46:1-7

උත්පත්ති 46:1-7 SCV

ඉශ්‍රායෙල් තමා සන්තක සියල්ල ද රැගෙන, පිටත් වූයේ ය. බෙයර්ෂෙබා වෙත ළඟා වූ ඔහු, තම පියා වූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට යාග පූජා ඔප්පු කළේ ය. එවිට රාත්‍රි දර්ශනයකින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් අමතමින්, “යාකොබ්, යාකොබ්” යැයි හඬ ගැසූ සේක. “මං මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. උන්වහන්සේ කතා කරමින්, “මම දෙවියන්වහන්සේ ය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ය. ඊජිප්තුවට යෑමට භය නො වන්න. මන්ද එහිදී මහත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි. මම ඔබ සමඟ ඊජිප්තුවට යන්නෙමි. මම නියතයෙන් ම ඔබ ආපසු ගෙනෙන්නෙමි. යෝසෙප්ගේ අත ම ඔබගේ නෙත් පියවනවා ඇතැ” යි පැවසූ සේක. ඉන්පසු යාකොබ් බෙයර්ෂෙබාවෙන් පිටත් විය. ඔහු ගෙන යෑමට පාරාවෝ විසින් එවා තිබූ ගැල්වලින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම පියා වූ යාකොබ් ද තම දරුවන් ද තම භාර්යාවන් ද ගෙන ගියහ. ඔවුහු තම සත්ව සම්පත් ද කානාන් දේශයේදී තමන් අත්කර ගත් වස්තු සම්පත් ද තමන් හා ගෙන ගියහ. මෙසේ ඔවුහු, යාකොබ් හා ඔහුගේ මුළු දරු පරපුර ඊජිප්තුවට පැමිණියහ. ඔහු තමා සමඟ තම පුතුන් හා මුනුපුරන් ද තම දූවරුන් හා මිනිපිරියන් ද යන තමාගේ මුළු දරු පරපුර ම ඊජිප්තුවට ගෙන ගියේ ය.