උත්පත්ති 45:9-20

උත්පත්ති 45:9-20 SCV

දැන් හනික මා පියා වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න, ‘ඔබගේ පුත්‍ර යෝසෙප් මෙසේ කියයි; දෙවියන්වහන්සේ මා මුළු මහත් ඊජිප්තුවට ම ස්වාමියා කර ඇත. මා වෙත මෙහි එන්න. පමා නො වන්න. ඔබ ගෝෂෙන් පළාතේ වෙසෙමින්, මා කිට්ටුවෙන් සිටිනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත්, ඔබේ දරුවන්ගේ දරුවනුත්, ඔබගේ එළු බැටළු රංචු හා ගව රංචුත්, ඔබට ඇති සියල්ලත් සමඟ වසනු ඇත. එහිදී මම ඔබ රක්ෂා කරන්නෙමි. එසේ නො වුවහොත් ඔබත්, ඔබගේ ගෘහ වාසීන් හා ඔබට අයත් සියල්ලත් අනාථ වී යනු ඇත. මන්ද ඉදිරියට සාගතයේ තවත් අවුරුදු පහක් තිබේ.’ “මේ ඔබට කතා කරන්නේ සැබවින් ම මා වග ඔබටත්, මා සහෝදර බෙන්යමින්ටත් පෙනේ. ඊජිප්තුවේදී මා ලබන සියලු ගරු බුහුමන් ගැනත්, ඔබ දුටු හැම දෙයක් ම ගැනත් මගේ පියාට පවසන්න. හනික, මගේ පියා මෙහි කැඳවාගෙන එන්නැ” යි කීවේ ය. ඉන්පසු, තම සහෝදර බෙන්යමින්ගේ ගෙල වටා දෑත් යවා, ඔහු බදාගත් ඔහු, හඬන්නට වන්නේ ය. බෙන්යමින් ද ඔහු වැලඳ හැඬී ය. අනතුරුව ඔහු තම සහෝදරයන් හැම සිප, ඔවුන් වැලඳ හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කරන්නට වන්හ. යෝසෙප්ගේ සහෝදරයින් පැමිණ ඇතැයි යන පුවත පාරාවෝගේ මන්දිරයට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ සියලු නිලධාරීහු සතුටට පත් වූහ. පාරාවෝ යෝසෙප් අමතා, “ඔබේ සහෝදරයින්ට මෙසේ කියන්න: ‘මෙසේ කරන්න: ඔබේ සතුන් පිට බඩු පටවා, කානාන් දේශයට ආපසු ගොස්, ඔබේ පියා ද ඔබේ දරු පවුල් ද මා වෙත කැඳවාගෙන එන්න. ඊජිප්තු දේශයේ හොඳ ම දේ මම ඔබට දෙන්නෙමි. එවිට දේශයේ සාරය භුක්ති විඳීමට ඔබට පුළුවනි.’ “ඔබ ඔවුන්ට මෙසේ ද අණ කළ යුතුයි, ‘මෙසේ කරන්න: ඔබගේ පොඩි දරුවන් හා භාර්යාවන් සඳහා ඊජිප්තුවෙන් ගැල් ගෙන ගොස්, ඔබේ පියා කැඳවාගෙන එන්න. ඔබ සන්තක බඩු බාහිරාදිය ගැන කරදර නො වන්න. මුළු ඊජිප්තුවේ ඇති හොඳ ම දෑ ඔබට වන්නේ ය’ කියා කියන්නැ” යි කීවේ ය.