උත්පත්ති 45:16-28
උත්පත්ති 45:16-28 SCV
යෝසෙප්ගේ සහෝදරයින් පැමිණ ඇතැයි යන පුවත පාරාවෝගේ මන්දිරයට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ සියලු නිලධාරීහු සතුටට පත් වූහ. පාරාවෝ යෝසෙප් අමතා, “ඔබේ සහෝදරයින්ට මෙසේ කියන්න: ‘මෙසේ කරන්න: ඔබේ සතුන් පිට බඩු පටවා, කානාන් දේශයට ආපසු ගොස්, ඔබේ පියා ද ඔබේ දරු පවුල් ද මා වෙත කැඳවාගෙන එන්න. ඊජිප්තු දේශයේ හොඳ ම දේ මම ඔබට දෙන්නෙමි. එවිට දේශයේ සාරය භුක්ති විඳීමට ඔබට පුළුවනි.’ “ඔබ ඔවුන්ට මෙසේ ද අණ කළ යුතුයි, ‘මෙසේ කරන්න: ඔබගේ පොඩි දරුවන් හා භාර්යාවන් සඳහා ඊජිප්තුවෙන් ගැල් ගෙන ගොස්, ඔබේ පියා කැඳවාගෙන එන්න. ඔබ සන්තක බඩු බාහිරාදිය ගැන කරදර නො වන්න. මුළු ඊජිප්තුවේ ඇති හොඳ ම දෑ ඔබට වන්නේ ය’ කියා කියන්නැ” යි කීවේ ය. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝ ය. පාරාවෝ අණ කළ පරිදි, යෝසෙප් ඔවුන්ට ගැල් සැපයී ය. ඔවුන්ගේ ගමනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද ඔහු ඔවුනට සැපයී ය. ඒ හැම කෙනකුට ම ඔහු ඇඳුම් කට්ටලය බැගින් දුන්නේ ය. එහෙත් බෙන්යමින්ට ෂෙකෙල් තුන්සියයක බරට රිදී හා ඇඳුම් කට්ටල පහක් දුන්නේ ය. ඔහු තම පියාට යැවූ දෑ මේවා ය. ඊජිප්තුවේ හොඳ ම දෑ පැට වූ බූරුවන් දස දෙනකු හා ඔහුගේ ගමනට අවැසි ධාන්‍ය ද ආහාර ද අනිකුත් කළමනා ද රැගත් බූරු දෙනුන් දස දෙනෙකි. මෙසේ ඔහු තම සහෝදරයින් පිටත් කර හැරියේ ය. ඔවුන් වෙතින් මෑත් වෙද්දී, ඔහු ඔවුන් අමතමින්, “අතර මගදී දබර නො කරන්නට වග බලා ගන්නැ” යි කීවේ ය. මෙසේ ඊජිප්තුවෙන් පිටතට ගමන් ගත් ඔවුහු කානාන් දේශයේ තම පියා වූ යාකොබ් වෙත පැමිණියහ. ඔවුහු ඔහු අමතමින්, “යෝසෙප් තවමත් ජීවත් ව ඉන්නවා! මුළු ඊජිප්තු දේශයට ම පාලකයා ඔහුයි” කීහ. ඔහු විස්මයෙන් වික්ෂිප්ත විය. ඔහු ඔවුන් විශ්වාස කළේ නැත. එහෙත් යෝසෙප් ඔවුනට පවසා තිබූ සියල්ල ඔවුන් ඔහුට පැවසූ පසු, ඔහු කැඳවාගෙන යෑමට යෝසෙප් එවා තිබූ ගැල් දුටු පසු, ඔවුන්ගේ පියා වූ යාකොබ්ගේ ආත්මය අලුතින් පිබිදිණි. එවිට ඉශ්‍රායෙල්, “මට ඒ ඇති. මා පුත් යෝසෙප් තවමත් ජීවත් වෙයි. මා මිය යන්නට කලින් මම ගොස්, ඔහු දැක ගන්නෙමි” යි කීවේ ය.

