උත්පත්ති 45:1-9

උත්පත්ති 45:1-9 SCV

එවිට යෝසෙප් තමා හා සිටි තම පිරිවර ඉදිරියේ තමා පාලනය කර ගත නො හැකි ව, “හැම කෙනෙක් ම මා ඉදිරියෙන් ඉවත් වනු!” යි මොර ගසා කීවේ ය. මෙසේ, තම සහෝදරයනට යෝසෙප් තමා හඳුන්වා දෙන විට, ඔහු සමඟ වෙන කිසිවකු නො වී ය. ඔහු කොතරම් හඬ නගා හැඬුවේ ද යත්, ඔහු හඬනු ඊජිප්තුවරුනට ඇසිණි. පාරාවෝගේ ගෘහවාසීනට ද එය ඇසිණි. යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “මම යෝසෙප් වෙමි! මගේ පියා තවමත් ජීවත් වෙනවා දැ?” යි ඇසී ය. එහෙත් ඔහුගේ සහෝදරයෝ, ඔහු ඉදිරියෙහි තැති ගෙන, ඔහුට පිළිතුරක් දී ගත නො හැකි ව තූෂ්ණීම්භූත ව සිටියෝ ය. ඉන්පසු යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “එන්න මා ළඟට” යි කීවේ ය. ඔවුන් ළං වූ කල, ඔහු ඔවුන් අමතමින්, “ඔබ ඊජිප්තුවට විකුණූ ඔබේ සහෝදර යෝසෙප් මමයි. මෙහාට මා විකිණීම ගැන දැන් සංතාප වන්න එපා; තමන් ගැන ම කෝප වන්නත් එපා. මන්ද ජීවිත සුරකින පිණිස, ඔබට පෙරටුව මා මෙහි එවා ඇත්තේ දෙවියන්වහන්සේයි. දැන් අවුරුදු දෙකක පටන් දේශයේ සාගතය පවතී. සී සෑමක්, අස්වනු නෙළීමක් නැති තවත් පස් අවුරුද්දක් වෙයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබට පෙරටුව මා එවුවේ, මේ මිහි පිට ඔබට ඉතිරි ස්වල්ප දෙනකු ආරක්ෂා කර දෙන පිණිසත්, ඉමහත් ගැලවීමකින් ඔබේ ජීවිත සුරකින පිණිසත් ය. “එබැවින් මෙහි මා එවුවේ ඔබ නො වෙයි; දෙවියන්වහන්සේයි. උන්වහන්සේ මා පාරාවෝට පියකු ද ඔහුගේ ගෘහවාසී හැමට ස්වාමියා ද මුළු ඊජිප්තු දේශයට පාලකයා ද කොට පත් කළ සේක. දැන් හනික මා පියා වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න, ‘ඔබගේ පුත්‍ර යෝසෙප් මෙසේ කියයි; දෙවියන්වහන්සේ මා මුළු මහත් ඊජිප්තුවට ම ස්වාමියා කර ඇත. මා වෙත මෙහි එන්න. පමා නො වන්න.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 45:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය