පාරාවෝ යෝසෙප්ට කතා කොට, “මෙන්න, මුළු ඊජිප්තු දේශය ම මම ඔබට පවරමි” යි කීවේ ය. ඉන්පසු ඔහු තම ඇඟිල්ලේ වූ තම පේරැස් මුද්ද ගලවා, එය යෝසෙප්ගේ ඇඟිල්ලේ දැම්මේ ය. සිහින් හණ පිළියෙන් කළ ඇඳුම් ඔහුට හඳවා, ඔහුගේ ගෙල වට රන් මාලයක් ද පළඳවා, තමාගේ දෙවැනි රාජකීය අශ්ව රථයේ ඔහු නංවා, ගමන් කරවී ය. ඔහුට පෙරටුවෙන් මිනිස්සු, “දණ නමව්” කියමින් හඬ නැගූහ. මෙසේ පාරාවෝ, මුළු ඊජිප්තු දේශයට ම අධිපතියා කොට යෝසෙප් පත් කළේ ය.
තවද පාරාවෝ යෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි. එහෙත් ඔබේ අවසරයක් නැතිව කිසිවකුත් මේ මුළු ඊජිප්තුව තුළ තමාගේ අතවත්, පයවත් ඔසවන්නේ නැතැ” යි කීවේ ය. පාරාවෝ යෝසෙප්ට සාෆෙනත්-පනේයා යන නම දුන්නේ ය. තවද ඔහු ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට බිරිඳ කොට දුන්නේ ය. යෝසෙප් මුළු ඊජිප්තු දේශය පුරා සැරි සැරී ය.
යෝසෙප් ඊජිප්තු රජු වූ පාරාවෝගේ සේවයට පිවිසෙන කල, තිස්වන වියෙහි පසු විය. යෝසෙප්, පාරාවෝ අබියසින් නික්ම, ඊජිප්තුව මුළුල්ලේ සැරි සැරුවේ ය. සමෘද්ධිමත් හත් අවුරුදුවලදී දේශය සුවිසල් අස්වැන්නක් නිපදවී ය. සමෘද්ධිමත් එම හත් අවුරුදුවල ඊජිප්තුවෙහි නිපැයුණු සියලු ආහාර එක් රැස් කළ යෝසෙප්, ඒවා නගරවල ගබඩා කරවී ය. එක් එක් නගරය වටා වූ කෙත් වත්හි හටගත් ආහාර ඔහු එම නගරවල ම ගබඩා කරවී ය. යෝසෙප්, මුහුදේ වැලි මෙන් ධාන්‍ය අති විශාල ප්‍රමාණයක් ගබඩා කරවී ය. ඒවා කොයි තරම් වී ද යත්, ගණන්-මිනුම් තැබීම ඔහුට නතර කරන්නට සිදු විය. ඒවා, මැනිය නො හැකි තරම් විය.
සාගත අවුරුදු එළැඹෙන්නට පෙර, ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට දාව, පුතුන් දෙදෙනකු බිහි කළා ය. යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ යැයි නම් තැබී ය. මන්ද, “මගේ සියලු කරදරත්, මගේ පියාගේ ගෘහවාසී සියලු දෙනාත් දෙවියන්වහන්සේ මට අමතක කර වූ නිසා” යි ඔහු කීවේ ය. ඔහු තම දෙවැනි පුතුට එප්‍රායිම් යැයි නම් තැබී ය. මන්ද, “මගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵල කළ සේකැ” යි ඔහු කීවේ ය.
ඊජිප්තුව මුළුල්ලේ සමෘද්ධිමත් හත් අවුරුදු නිමා විය. යෝසෙප් පවසා තිබූ පරිදි සාගතයේ හත් අවුරුදු පටන් ගැනිණි. අනිකුත් රටවල් සියල්ලෙහි ද සාගතය පැවතිණ. එහෙත් ඊජිප්තු දේශය මුළුල්ලේ ආහාර තිබිණ. මුළු ඊජිප්තුවට ද සාගතය දැනෙන්නට වූ කල, ජනයා ආහාර ඉල්ලා පාරාවෝට හඬ නැගූහ. එවිට පාරාවෝ සියලු ඊජිප්තුවරුන් අමතමින්, “යෝසෙප් වෙත යන්න; ඔහු නුඹලාට කරන්නට කියන දේ, කරන්නැ” යි කීවේ ය.
සාගතය මුළු මහත් දේශයෙහි පැතිර ගිය කල, යෝසෙප් ගබඩා විවර කර, ඊජිප්තුවරුනට ධාන්‍ය වික්කේ ය. මන්ද ඊජිප්තු දේශය මුළුල්ලේ සාගතය සැහැසි ව පැවතුණේ ය. සියලු රටවල් යෝසෙප්ගෙන් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුවට ආහ. මන්ද මුළු ලොව පුරා ම සාගතය සැහැසි ව පැවතුණේ ය.