උත්පත්ති 41:33-40
උත්පත්ති 41:33-40 SCV
“එබැවින් දැන් පාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවත් කෙනකු සොයා, ඊජිප්තු දේශයේ බාරකාරත්වයට ඔහු පත් කෙරේවා. සමෘද්ධියේ හත් අවුරුදු කාලය තුළ, ඊජිප්තු දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටසක් අය කර ගන්නා පිණිස, පාරාවෝ බලයලත් නිලධාරීන් පත් කෙරේවා. ඔවුන්, මතු පැමිණෙන මේ සාරවත් අවුරුදුවල සියලු ආහාර වර්ග එකතු කොට, පාරාවෝගේ ආධිපත්‍යය යටතේ, ආහාර සඳහා නගරවල ගබඩා කොට තැබිය යුතුයි. සාගතයෙන් දේශය විනාශ වී නො යන පිණිස, මෙම ආහාර, ඊජිප්තු දේශය පුරා මතු ඇති වන හත් අවුරුදු සාගතයේ පරිභෝජනයට වෙන් කොට තැබිය යුතු වේ යැ” යි කීවේ ය. එම යෝජනාව පාරාවෝටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත් හොඳ වග පෙනී ගියේ ය. එබැවින් පාරාවෝ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ ආත්මයෙන් හෙබි, මේ මිනිසාට වඩා සුදුස්සකු අපට සොයාගත හැකි දැ?” යි ඇසුවේ ය. මෙසේ පාරාවෝ යෝසෙප් අමතමින්, “දෙවියන්වහන්සේ මේ හැම දේ ඔබට දන්වා ඇති බැවින්, ඔබ තරම් දැනුම් තේරුම් ඇති, ප්‍රඥාසම්පන්න කෙනකු තවත් නැත. මගේ මාලිගයේ ආධිපත්‍යය ඔබට පැවරේ. මගේ මුළු මහත් ජනතාව, ඔබේ නියෝගවලට යටත් ය. සිංහාසනයේදී පමණක්, මම ඔබට වඩා උසස් ව සිටිමි” යි පැවසී ය.

