උත්පත්ති 41:14-25

උත්පත්ති 41:14-25 SCV

එබැවින් පාරාවෝ යෝසෙප් කැඳවා යැවී ය. එවිට දඟ ගෙයින් වහාම ඔහු ගෙන එනු ලැබී ය. රැවුල බා, ඇඳුම් මාරු කළ පසු, ඔහු පාරාවෝ ඉදිරියට ආවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මම සිහිනයක් දැක්කා. එහෙත් එහි අර්ථය පහදා දෙන්නට හැකි කෙනකු නෑ. සිහිනයක් ඇසූ කල, එහි අරුත පහදා දීමට ඔබ සමත් බැව්, ඔබ ගැන මට අසන්නට ලැබුණා” යි කීවේ ය. යෝසෙප් පාරාවෝට පිළිතුරු දෙමින්, “මා නො වේ; දෙවියන්වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙනු ඇතැ” යි කීවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මගේ සිහිනයේදී මෙන්න මා නයිල් ගං ඉවුරේ සිටගෙන සිටියා. එවිට, තර, සැපවත් එළදෙන්නු හත් දෙනෙක් නයිල් ගංගාවෙන් මතු වී අවුත්, බට පඳුරු අතරේ තණ කමින් සිටියා. උන්ට පසුව මෙන්න, තවත් එළදෙන්නු හත් දෙනෙක් නැගී ආවා. උන් වැහැරුණු, කැත ම කැත, කැහැටු එවුන්. ඒ තරම් අවලස්සන එළදෙනුන් මේ මුළු ඊජිප්තුව තුළ මා කිසි දිනෙක දැක නැහැ. මෙම කැහැටු, කැත එළදෙනුන් විසින් අර මුලින් පැමිණි තර එළදෙනුන් හත්දෙනා කා දමනු ලැබුවා. උන් එසේ කා දැමූ පසුත්, එසේ කෑ වගක් පෙනෙන්නට තිබුණේ නෑ. උන් පෙර සේ ම අවලස්සනවයි පෙනුණේ. එවිට මට ඇහැරුණා. “තවද මගේ සිහිනයේදී පූර්ණ වූ සාරවත් කරල් හතක් තනි ගොයම් ගසක හටගෙන තිබුණා දැක්කා. ඉන් අනතුරුව, මැලවී, කේඬෑරි වී, පෙරදිග සුළඟින් ඇකිළී ගිය වෙනත් කරල් හතක් පැන නැගුණා. එම කේඬෑරි කරල්, අර සාරවත් කරල් හත ගිල දැමුවා. මා මෙය ඉන්ද්‍රජාලිකයින්ට පැවසූ නමුත්, මට එය තේරුම් කර දෙන්නට ඒ කිසිවකුත් සමත් වුණේ නෑ” යි කීවේ ය. එවිට යෝසෙප් පාරාවෝ අමතමින්, “පාරාවෝගේ සිහින දෙක එකක්මයි. දෙවියන්වහන්සේ, තමන් කරන්නට සූදානම් ව සිටින දේ පාරාවෝට එළිදරවු කර තියෙනවා.