උත්පත්ති 41:1-32

උත්පත්ති 41:1-32 SCV

මෙයින් පුරා වසර දෙකකට පසු, පාරාවෝ සිහිනයක් දුටුවේ ය. නයිල් ගඟ අසබඩ තමා සිටගෙන සිටියදී, මෙන්න! නයිල් ගංගාවෙන් මතු ව ආ සැපවත්, තර එළදෙන්නු හත් දෙනෙක් වූහ. උන් බට පඳුරු අතරේ තණ කමින් සිටියහ. ඉන්පසු මෙන්න! අවලක්ෂණ, කෙසඟ වෙනත් එළදෙන්නු හත් දෙනෙක් නයිල් ගඟින් නැගී අවුත්, ගං ඉවුරේ සිටියවුන් පසෙක සිටගත්හ. ඒ අවලක්ෂණ, කෙසඟ එළදෙන්නු, අර සැපවත්, තර එළදෙනුන් හත්දෙනා කා දැමූහ. එවිට පාරාවෝ ඇහැරුණේ ය. යළි නින්දට වැටුණු ඔහු දෙවන වරටත් සිහිනයක් දුටුවේ ය. මෙන්න! තනි ගොයම් ගසක හටගත්, පිරිපුන්, සාරවත් වී කරල් හතක් විය. ඒවාට පසුව මෙන්න! කේඬෑරි වී, පෙරදිග සුළඟින් වියළී ගිය තවත් කරල් හතක් පැන නැගිණි. ඉන්පසු ඒ කේඬෑරි කරල් විසින් පිරිපුන්, සාරවත් කරල් හත ගිල දමනු ලැබී ය. එවිට ම පාරාවෝට ඇහැරුණි. එය සිහිනයක් බව ඔහු තේරුම් ගත්තේ ය. පසු දින උදෑසන ඔහුගේ සිත කැලඹී තිබිණි. එබැවින් ඔහු ඊජිප්තුවේ සියලු ඉන්ද්‍රජාලිකයින් හා ප්‍රාඥයින් කැඳවා යැවී ය. පාරාවෝ තම සිහින ඔවුන්ට පැවසී ය. එහෙත් පාරාවෝට ඒවායේ අරුත් පහදා දීමට කිසිවකුටත් නො හැකි විය. එවිට ප්‍රධාන කුසලාන දරන්නා පාරාවෝට කතා කරමින්, “මගේ වරද අද දවසේ මට සිහිපත් වෙයි. වරක් පාරාවෝ තම සේවකයින් හා කිපී, මා ද ප්‍රධාන රොටි සාදන්නා ද ආරක්ෂක සෙන්පතිගේ නිවසේ සිරගත කළා. අප දෙදෙනා එක ම රැයක සිහින දුටුවා. ඒ එක් එක් සිහිනයට ඊට ම අදාළ අරුතක් තිබුණා. හෙබ්‍රෙව් තරුණයෙක් එහි අප සමඟ සිටියා. ඔහු ආරක්ෂක සෙන්පතිගේ සේවකයෙක්. අපගේ සිහින අප ඔහුට පැවසූ කල ඔහු ඒවායේ අර්ථ අපට පහදා දුන්නේ, අප එක් එක් කෙනාගේ සිහිනවලට අදාළ පරිද්දෙනි. කරුණු සිදුවූයේත් ඔහු අපට ඒවායේ අරුත් පහදා දුන් අයුරින්මයි. මම මගේ නිලයට යළි පත් කරනු ලැබුවෙමි. අනෙකා එල්ලා දමනු ලැබී යැ” යි පැවසී ය. එබැවින් පාරාවෝ යෝසෙප් කැඳවා යැවී ය. එවිට දඟ ගෙයින් වහාම ඔහු ගෙන එනු ලැබී ය. රැවුල බා, ඇඳුම් මාරු කළ පසු, ඔහු පාරාවෝ ඉදිරියට ආවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මම සිහිනයක් දැක්කා. එහෙත් එහි අර්ථය පහදා දෙන්නට හැකි කෙනකු නෑ. සිහිනයක් ඇසූ කල, එහි අරුත පහදා දීමට ඔබ සමත් බැව්, ඔබ ගැන මට අසන්නට ලැබුණා” යි කීවේ ය. යෝසෙප් පාරාවෝට පිළිතුරු දෙමින්, “මා නො වේ; දෙවියන්වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙනු ඇතැ” යි කීවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මගේ සිහිනයේදී මෙන්න මා නයිල් ගං ඉවුරේ සිටගෙන සිටියා. එවිට, තර, සැපවත් එළදෙන්නු හත් දෙනෙක් නයිල් ගංගාවෙන් මතු වී අවුත්, බට පඳුරු අතරේ තණ කමින් සිටියා. උන්ට පසුව මෙන්න, තවත් එළදෙන්නු හත් දෙනෙක් නැගී ආවා. උන් වැහැරුණු, කැත ම කැත, කැහැටු එවුන්. ඒ තරම් අවලස්සන එළදෙනුන් මේ මුළු ඊජිප්තුව තුළ මා කිසි දිනෙක දැක නැහැ. මෙම කැහැටු, කැත එළදෙනුන් විසින් අර මුලින් පැමිණි තර එළදෙනුන් හත්දෙනා කා දමනු ලැබුවා. උන් එසේ කා දැමූ පසුත්, එසේ කෑ වගක් පෙනෙන්නට තිබුණේ නෑ. උන් පෙර සේ ම අවලස්සනවයි පෙනුණේ. එවිට මට ඇහැරුණා. “තවද මගේ සිහිනයේදී පූර්ණ වූ සාරවත් කරල් හතක් තනි ගොයම් ගසක හටගෙන තිබුණා දැක්කා. ඉන් අනතුරුව, මැලවී, කේඬෑරි වී, පෙරදිග සුළඟින් ඇකිළී ගිය වෙනත් කරල් හතක් පැන නැගුණා. එම කේඬෑරි කරල්, අර සාරවත් කරල් හත ගිල දැමුවා. මා මෙය ඉන්ද්‍රජාලිකයින්ට පැවසූ නමුත්, මට එය තේරුම් කර දෙන්නට ඒ කිසිවකුත් සමත් වුණේ නෑ” යි කීවේ ය. එවිට යෝසෙප් පාරාවෝ අමතමින්, “පාරාවෝගේ සිහින දෙක එකක්මයි. දෙවියන්වහන්සේ, තමන් කරන්නට සූදානම් ව සිටින දේ පාරාවෝට එළිදරවු කර තියෙනවා. ඒ කදිම එළදෙනුන් හත්දෙනා, අවුරුදු හතක්. ඒ කදිම වී කරල් හත ද අවුරුදු හතක්. ඒ සිහින එකක්මයි. පසුව නැගී ආ කැහැටු, කැත එළදෙනුන් හත්දෙනා ද අවුරුදු හතක්; පෙරදිග සුළඟින් ඇකිළුණු, බොල් කරල් හත ද එයමයි. ඒවා සාගතයේ අවුරුදු හත ය. “එය පාරාවෝට මා කී පරිදි, දෙවියන්වහන්සේ කරන්නට යන දේ, උන්වහන්සේ පාරාවෝට පෙන්වා දී තියේ. ඇත්තෙන් ම අතිශය සමෘද්ධිමත් අවුරුදු හතක්, මුළු මහත් ඊජිප්තු දේශය පුරා උදා වෙයි. ඉන් අනතුරුව හත් අවුරුදු සාගතයක් එළැඹෙයි. එකල ඊජිප්තු දේශයේ සමෘද්ධිය අමතක ව යනු ඇති. සාගතයෙන් දේශය නැති නාස්ති වනු ඇත. පසුව පැමිණෙන සාගතය ඒ සා දරුණු වන බැවින්, දේශයේ සමෘද්ධිය මතකයෙන් බැහැර ව යයි. පාරාවෝට සිහිනය දෙආකාරයකින් පෙනුණේ, දෙවියන්වහන්සේ මෙම කාරණය ස්ථිර ව ම තීන්දු කර ඇති නිසයි. දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉටු කරනු ඇති.