උත්පත්ති 40:9-23

උත්පත්ති 40:9-23 SCV

එවිට ප්‍රධාන කුසලාන දරන්නා තම සිහිනය යෝසෙප්ට පවසමින්, “මගේ සිහිනයේදී මා ඉදිරියේ වූ මිදි වැලක් දැක්කා. මිදි වැලේ අතු තුනක් තිබුණා. එය දළු දැමූ විගස, එහි මල් හට ගැනුණා. මිදි පොකුරු මෝරා ඉදුණා. පාරාවෝගේ කුසලාන මා අතේ තිබුණා. මා, මිදි පල ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, කුසලාන පාරාවෝගේ අතේ තැබුවා” යි කීවේ ය. එවිට යෝසෙප් ඔහු අමතමින්, “එහි අරුත මෙයයි. ඒ අතු තුන දවස් තුනක්; තුන් දවසක් ඇතුළත පාරාවෝ ඔබට හිස ඔසවන්නට සලසා, ඔබේ නිලයට යළි ඔබ පත් කරනු ඇත. ඔහුගේ කුසලාන දරන්නා ව සිටියදී, ඔබ කළ පරිදි ඔබ පාරාවෝගේ කුසලාන ඔහුගේ අතේ තබනු ඇත. මෙසේ ඔබට සෙත සැලසුණු කල, මා සිහි කර, මට කරුණාව දක්වමින්, පාරාවෝට මා ගැන මතක් කර, මේ සිර ගෙයින් මා එළියට ගන්න. මන්ද හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේ සිට මා මෙහි ගෙන එන ලද්දේ බලහත්කාරයෙනි. මෙසේ දඟ ගෙයි දමනු ලැබීමට තරම් කිසිවක් ද මා කර නැතැ” යි කීවේ ය. යෝසෙප්ගේ අර්ථ විවරණය සතුටුදායක බැව් දුටු ප්‍රධාන රොටි සාදන්නා, යෝසෙප් අමතමින්, “මාත් සිහිනයක් දැක්කා. මගේ හිසේ රොටි කූඩ තුනක් තිබුණා. උඩ ම කූඩයේ වූයේ පාරාවෝ සඳහා වූ සියලු වර්ගවල පිලිස්සූ කැවිලියි. කුරුල්ලෝ, මගේ හිස මත වූ කූඩයෙන් ඒවා කමින් සිටියා” යි කීවේ ය. එවිට යෝසෙප් පිළිතුරු දෙමින්, “එහි අරුත මෙයයි; ඒ කූඩ තුන දවස් තුනක්. දවස් තුනක් ඇතුළත පාරාවෝ ඔබේ හිස, ඔබ වෙතින් ඔසවා, ගසක ඔබ එල්ලා දමනු ඇත. කුරුල්ලන් ඔබේ මාංස කා දමනු ඇතැ” යි කීවේ ය. තුන් වන දවස පාරාවෝගේ උපන් දවස විය. ඔහු තමාගේ සියලු සේවකයනට සාදයක් පැවැත්වී ය. ඔහු තම නිලධාරීන් ඉදිරිපිට ප්‍රධාන කුසලාන දරන්නාගේ ද ප්‍රධාන රොටි සාදන්නාගේ ද හිස් එසවී ය: ඔහු ප්‍රධාන කුසලාන දරන්නා යළි ඔහුගේ නිලයට පත් කළෙන්, නැවතත් ඔහු, පාරාවෝගේ අතට කුසලාන දුන්නේ ය. එහෙත් යෝසෙප් ඔවුන්ට සිහින අරුත් පහදා දුන් පරිදි, ඔහු ප්‍රධාන රොටි සාදන්නා එල්ලා දැමී ය. කෙසේ වුව ද ප්‍රධාන කුසලාන දරන්නාට යෝසෙප් සිහි වූයේ නැත. හෙතෙම ඔහු අමතක කර දැමී ය.