උත්පත්ති 4:1-7

උත්පත්ති 4:1-7 SCV

ආදම් තම බිරිඳ වන ඒව සමඟ එක් වුණේ ය. ඈ ගැබ් ගෙන, කායින් බිහි කළා ය. “ස්වාමින්වහන්සේගේ පිහිටෙන් මම මනුෂ්‍යයකු ලබා ගතිමි” යි ඈ කීවා ය. පසුව ඈ, කායින්ගේ සහෝදර ආබෙල් බිහි කළා ය. ආබෙල් සත්ව පාලකයෙක් විය. කායින් භූමිය වගා කරන්නෙක් විය. කලකට පසු, කායින් පොළොවේ පලදාවෙන් කොටසක්, ස්වාමින්වහන්සේට පඬුරක් වශයෙන් ගෙන ආවේ ය. එහෙත් ආබෙල් තම රංචුවේ කුලුඳුලන්ගෙන් හා උන්ගේ හොඳ ම කොටස්වලින් තම පඬුර ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ආබෙල් ද ඔහුගේ පඬුර ද දෙස ප්‍රසාදයෙන් බැලූ සේක. එහෙත් කායින් ද ඔහුගේ පඬුර ද දෙස උන්වහන්සේ ප්‍රසාදයෙන් බැලුවේ නැත. එබැවින් කායින් තදින් කිපිණ. ඔහුගේ මුහුණ නො සතුටු විණ. එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “නුඹ කිපී සිටින්නේ මන්ද? නුඹේ මුහුණ නො සතුටු ව තිබෙන්නේ මන්ද? හරි දේ කරන්නේ නම්, නුඹත් නො පිළිගැනේ ද? එහෙත් නුඹ හරි දේ නො කරන කල, පාපය දොරකඩ ලැග, මාන බලමින් සිටී. එහි ආශාව නුඹ අල්ලා ගැනීමයි. එහෙත් නුඹ එය දමනය කළ යුතු යැ” යි පැවසූ සේක.