උත්පත්ති 38:13-30
උත්පත්ති 38:13-30 SCV
එවිට, “අන්න, ඔබේ මාමණ්ඩිය ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපන්නට තිම්නා බලා යතැ” යි තාමාර්ට දන්වනු ලැබිණ. එකල තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් මුහුණ වසා, වෙස්වළාගත් ඈ, තිම්නාවට දිවෙන මගෙහි වූ ඒනයිම් පුර දොරකඩ හිඳ ගත්තා ය. ඇය එසේ කළේ, ෂේලා ඒ වන විට වැඩිවියට පැමිණ සිටි නමුදු, ඇය ඔහුට බිරිඳ කොට නො දුන් බැව් ඇය දුටු නිසා ය. යූදා ඇය දැක, ඇය මුහුණ වසා සිටි බැවින් ඈ වෙසඟනකැ යි සිතුවේ ය. ඇය තමාගේ ලේළිය බැව් ඔහු නො දත්තේ ය. ඔහු පාර අයිනේ සිටි ඇය වෙත ගොස්, “එන්න; මට ඔබේ පහස ලබන්නට ඕනෑ” යි ඇය කැඳවී ය. “මගේ පහස ලබන්නට ඔබ මට මොනවද දෙන්නේ?” යි ඈ ඇසුවා ය. ඔහු පිළිතුරු දෙමින්, “මගේ ගාලෙන් මම ඔබට එළු පැටවකු එවන්නම්” යි කීවේ ය. එවිට ඈ, “ඔබ ඌ එවන තුරු ඇපයක් වශයෙන් මට යමක් දෙනවා දැ?” යි ඇසුවා ය. ඔහු පිළිතුරු දෙමින්, “මා ඔබට දිය යුත්තේ කවර ඇපයක් දැ?” යි ඇසී ය. ඈ පිළිතුරු දෙමින්, “ඔබේ මුද්‍රාවත්, එය බැඳි පටියත්, ඔබ අත ඇති සැරයටියත්” යැයි කීවා ය. එවිට ඔහු ඒවා ඇයට දී, ඇය හා සයනය කළේ ය. ඈ, ඔහු නිසා ගැබ් ගත්තා ය. ඉන්පසු ඈ නැගිට, පිටත් ව ගියා ය. තම මුහුණු වැස්ම ඉවත් කළ ඈ, තම වැන්දඹු-ඇඳුම් යළි ඇඟ ලා ගත්තා ය. මේ අතර යූදා එම ස්ත්‍රිය වෙතින් තම ඇපය ආපසු ලබාගන්නා පිණිස, අදුල්ලාම් වාසී තම මිතුරා අත එළු පැටවකු යැවී ය. එහෙත් ඔහුට ඇය හමු වූයේ නැත. එබැවින් ඒ පෙදෙසේ විසූවන්ගෙන් ඒ ගැන විමසූ ඔහු, “ඒනයිම් මග අද්දර සිටි දේවාල වෙසඟන කොහේ දැ?” යි ඇසී ය. එහෙත් ඔවුන්ගේ පිළිතුර වූයේ, “දේවාල වෙසඟනක මෙහි සිටියේ නැත” යන්න ය. එබැවින් ඔහු යූදා වෙත ආපසු ගොස්, “මට ඇය හමු වුණේ නැහැ. ඇරත්, එහි වෙසෙන මිනිසුන් කීවේ, කිසි ම වෙසඟනක එහි සිටියේ නැති බව යැ” යි පැවසී ය. එවිට යූදා, “ඈ ළඟ ඇති දෑ ඈ තබා ගත්තා වේ. නැතහොත් අප සිනහවට ලක් විය හැකියි. කෙසේ වෙතත්, මා මෙම එළු පැටවා ඇයට යැව්වා. එහෙත්, ඔබට ඇය හමු වී නැතැ” යි කීවේ ය. තුන් මසකට පමණ පසු, “ඔබේ ලේළිය, තාමාර් වේශ්‍යාකම් කර අන්න! වේශ්‍යාකමින් ගැබ් ගෙන ඇතැ” යි යූදාට දන්වනු ලැබී ය. එවිට යූදා, “ඇය පිටතට ගෙනැවිත් පුලුස්සා දමනු” යි කීවේ ය. මෙසේ ඇය පිටතට ගෙන එනු ලබද්දී, ඈ තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, “මා ගැබ් ගෙන ඇත්තේ මේ දෑ අයිති මිනිසාගෙන්. මේ මුද්‍රාවත්, එය බැඳි පටියත්, මේ සැරයටියත් කවරකුගේ ද කියා ඔබට හැඳිනිය හැකි දැ?” යි පැවසුවා ය. යූදා ඒවා හැඳින්නේ ය. ඔහු කතා කරමින්, “ඈ මට වඩා ධර්මිෂ්ඨයි. මොකද, මා මගේ පුතු ෂේලාට ඇය බිරිඳ කොට නුදුන් නිසා යැ” යි කීවේ ය. ඔහු ඉන්පසු ඇය හා සයනය කළේ නැත. ඇගේ ප්‍රසව කාලය පැමිණි කල, ඇගේ කුස තුළ නිවුන් දරු දෙදෙනෙක් සිටියහ. ප්‍රසූත අවස්ථාවේ ඒ දෙදෙනාගෙන් කෙනෙක් අතක් පිටතට දැමී ය. එවිට වින්නඹුව රතු නූල් පොටක් ගෙන, ඔහුගේ අතේ බැඳ, “පළමු ව ආවේ මොහු” යි කීවා ය. එහෙත් ඔහු තම අත ආපසු ඇදගත් කල, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට ඈ, “නුඹ බිඳගෙන ආ හැටි යසයි” කීවා ය. ඔහුට පෙරෙස් යන නම තබන ලදී. ඉන්පසු රතු නූල අත බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට සෙරා යන නම තබන ලදී.

