උත්පත්ති 37:5-11

උත්පත්ති 37:5-11 SCV

යෝසෙප් සිහිනයක් දුටුවේ ය. ඔහු තම සහෝදරයින්ට එය පැවසූ කල, ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර කරන්නට වූහ. ඔහු ඔවුන් අමතමින්, “මේ අහන්න! මා දුටු සිහිනය මෙයයි: අපි කෙතේ ගොයම් මිටි බඳිමින් හිටියා. මෙන්න! එකපාරට ම මගේ ගොයම් මිටිය නැගිට, කෙළින් අතට සිටගත්තා. එවිට ඔබේ ගොයම් මිටි, මගේ මිටිය වටේට රැස් වී, ඊට වැඳ වැටුණා යැ” යි පැවසී ය. එවිට ඔහුගේ සහෝදරයෝ කතා කරමින්, “සැබවින් ම අපට රජකම් කරන්න ද කල්පනාව? ඇත්තෙන් ම අප පාලනය කරන්න ද යන්නේ?” යි කීහ. ඔහුගේ සිහින නිසාත්, ඔහුගේ වචන නිසාත් ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර බඳින්නට වූහ. පසුව, ඔහු තවත් සිහිනයක් දුටුවේ ය. ඔහු එය ද තම සහෝදරයින්ට කීවේ ය. “මේ අහන්න. මා තවත් සිහිනයක් දැක්කා. මෙන්න, හිරුත්, සඳුත්, තරු එකොළහකුත් මට වැඳ වැටුණා” යි කී ය. ඔහු තම සහෝදරයින්ට මෙන් ම තම පියාටත් එය කී කල, ඔහුගේ පියා ඔහුට තරවටු කරමින්, “මොකක් ද මේ නුඹ දුටු සිහිනය? මාත්, නුඹේ මවත්, නුඹේ සහෝදරයනුත් ඇත්තට ම නුඹ ඉදිරියේ බිම වැටී වඳිනවා දැ?” යි ඇසී ය. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කරන්නට වූහ. එහෙත් ඔහුගේ පියා එය සිත්හි තබා ගත්තේ ය.