උත්පත්ති 37:3-9

උත්පත්ති 37:3-9 SCV

ඉශ්‍රායෙල් තමාගේ අන් හැම පුතකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කළේ ය. ඒ, තමාගේ මහලු වයසේ උපන් පුත්‍රයා ඔහු බැවිනි. එබැවින් ඔහු නා නා වර්ණ කබායක් ඔහුට සාදවා දුන්නේ ය. තම පියා තමන් කවරකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කරන වග දුටු ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළෝ, එක් වචනයකුදු කාරුණික ව ඔහුට කතා කිරීමට අපොහොසත් වූහ. යෝසෙප් සිහිනයක් දුටුවේ ය. ඔහු තම සහෝදරයින්ට එය පැවසූ කල, ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර කරන්නට වූහ. ඔහු ඔවුන් අමතමින්, “මේ අහන්න! මා දුටු සිහිනය මෙයයි: අපි කෙතේ ගොයම් මිටි බඳිමින් හිටියා. මෙන්න! එකපාරට ම මගේ ගොයම් මිටිය නැගිට, කෙළින් අතට සිටගත්තා. එවිට ඔබේ ගොයම් මිටි, මගේ මිටිය වටේට රැස් වී, ඊට වැඳ වැටුණා යැ” යි පැවසී ය. එවිට ඔහුගේ සහෝදරයෝ කතා කරමින්, “සැබවින් ම අපට රජකම් කරන්න ද කල්පනාව? ඇත්තෙන් ම අප පාලනය කරන්න ද යන්නේ?” යි කීහ. ඔහුගේ සිහින නිසාත්, ඔහුගේ වචන නිසාත් ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර බඳින්නට වූහ. පසුව, ඔහු තවත් සිහිනයක් දුටුවේ ය. ඔහු එය ද තම සහෝදරයින්ට කීවේ ය. “මේ අහන්න. මා තවත් සිහිනයක් දැක්කා. මෙන්න, හිරුත්, සඳුත්, තරු එකොළහකුත් මට වැඳ වැටුණා” යි කී ය.