උත්පත්ති 37:18-36

උත්පත්ති 37:18-36 SCV

එහෙත් ඈතදීම ඔහු එනු දුටු ඔවුහු, තමන් අසලට ඔහු එන්නටත් පෙර, ඔහු මරා දැමීමට කුමන්ත්‍රණ කළහ. ඔවුහු එකිනෙකා අමතමින්, “මෙන්න එනවා ස්වප්නකාරයා! දැන් වරෙල්ලා, ඔහු මරා, මේ වළක දමා, වන මෘගයකු ඔහු කා දැමුවා යැයි කියමු. එවිට, ඔහුගේ ස්වප්නවලට කුමක් වේ දැයි බලමු” යි කතිකා කර ගත්හ. එහෙත් රූබෙන් ඒ ඇසූ කල, ඔවුන් අතින් ඔහු බේරා ගැනීමට තැත් දරමින්, “ඔහුගේ ජීවිතයට හානියක් නො කර සිටිමු. ලේ වගුරු වන්න එපා. මේ පාළුකරයේ මේ වළට ඔහු තල්ලු කරපල්ලා. ඒත්, ඔහුගේ ජීවිතයට අත නො තියල්ලා” යි කීවේ ය. රූබෙන් එසේ කීවේ පසුව මොවුන් අතින් ඔහු මුදා, තම පියා වෙත ඔහු ආපසු ගෙන යෑමේ අටියෙනි. මෙසේ යෝසෙප් තම සොහොයුරන් වෙත ආ කල්හි, ඔහු ඇඟ ලා සිටි වර්ණවත් කබාය ඇද, ගැලවූ ඔවුහු ඔහු අල්ලා, එහි වූ වළට තල්ලු කළහ. ඒ වළ පාළු එකකි; එහි වතුර නො වී ය. ඉන්පසු ඔවුහු කෑමට හිඳ ගත්හ. තවද ඔවුහු නෙත් ඔසවා බැලූ කල, ගිලියාද්හි සිට එන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටුවහ. තවලමේ ඔටුවන් පිට සුවඳලාටු, සුවඳ ඔසු ආලේපන හා කට්ටකුමංජල් පටවා තිබිණි. ඔවුහු ඒවා ඊජිප්තුව වෙත ගෙන යමින් සිටියහ. එවිට යූදා තම සහෝදරයින් අමතමින්, “අපේ සහෝදරයා මරා, අප ඔහුගේ ලේ වසන් කිරීමෙන්, ඉන් අපට අත්වන සෙත කුමක් ද? එන්න! මේ ඉෂ්මායෙල්වරුනට අපි ඔහු විකුණමු. ඔහුට අත නො තබමු. කොහොම වුණත්, ඔහු අපගේ සහෝදරයායි; අපගේ ම මාංසය හා ලේ යැ” යි කීවේ ය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟ වූහ. මෙසේ මිදියන් වෙළඳුන් එතැන පසු කර යද්දී, යෝසෙප් වළෙන් ගොඩ ගත් ඔවුහු, රිදී කාසි විස්සකට ඉෂ්මායෙල්වරුන්ට ඔහු වික්කෝ ය. ඔවුහු යෝසෙප් ඊජිප්තුවට ගෙන ගියහ. රූබෙන් වළ වෙත යළි ආ කල, යෝසෙප් එහි නො වූ වග දුටුවේ ය. එබැවින් තම වස්ත්‍ර ඉරා ගත් ඔහු, තම සොහොයුරන් වෙත ගොස්, “ළමයා නැත. මං කොයි අත හැරෙන්න දැ?” යි කීවේ ය. ඉන්පසු ඔවුහු එළුවකු මරා, යෝසෙප්ගේ කබාය ගෙන, ලෙයින් පෙඟවූහ. පසුව ඔවුහු වර්ණවත් එම කබාය තම පියා වෙත ගෙන ගොස්, “අපට මෙය සම්බ වුණා. මෙය ඔබේ පුතාගේ කබාය ද, නැද්දැයි පරීක්ෂා කර බලන්නැ” යි කීහ. යාකොබ් එය හැඳින්නේ ය. “මෙය මා පුතුගේ කබාය තමයි. වන මෘගයෙක් ඔහු කා දමන්නට ඇති. නිසැක ව ම කෑලිවලට යෝසෙප් ඉරා දමනු ලබන්නට ඇති” යි කීවේ ය. ඉන්පසු යාකොබ් තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඉඟ දවටා, බොහෝ දිනක් තම පුත්‍රයා උදෙසා ශෝක වූයේ ය. ඔහුගේ සියලු පුත්තු හා දූවරු ඔහු සනසන්නට ආහ. එහෙත් සනසනු ලැබීම ප්‍රතික්ෂේප කළ ඔහු, “නෑ. මා වැලපෙමින්, මගේ පුතු ළඟට මිනී වළට බැස යනවා” යි කීවේ ය. මෙසේ ඔහුගේ පියා, ඔහු උදෙසා වැලපුණේ ය. මේ අතර මිදියන්වරු ඊජිප්තුවේදී පාරාවෝ රජුගේ නිලධාරියකු වන ආරක්ෂක සෙන්පති පොතිෆර්ට යෝසෙප් විකුණූහ.