උත්පත්ති 37:1-11

උත්පත්ති 37:1-11 SCV

යාකොබ්, තම පියා නැවතී සිටි දේශය වන කානාන් දේශයේ වාසය කළේ ය. යාකොබ්ගේ පරපුර පිළිබඳ තොරතුරු මෙසේ ය. දහහත් හැවිරිදි තරුණයකු වූ යෝසෙප් තම සහෝදරයින් සමඟ, තම පියාගේ භාර්යාවන් වූ බිල්හාගේත්, සිල්පාගේත් පුතුන් සමඟ එළු බැටළු රංචු බලා ගත්තේ ය. ඔහු ඔවුන් ගැන නරක වාර්තාවක්, තම පියා වෙත ගෙනාවේ ය. ඉශ්‍රායෙල් තමාගේ අන් හැම පුතකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කළේ ය. ඒ, තමාගේ මහලු වයසේ උපන් පුත්‍රයා ඔහු බැවිනි. එබැවින් ඔහු නා නා වර්ණ කබායක් ඔහුට සාදවා දුන්නේ ය. තම පියා තමන් කවරකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කරන වග දුටු ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළෝ, එක් වචනයකුදු කාරුණික ව ඔහුට කතා කිරීමට අපොහොසත් වූහ. යෝසෙප් සිහිනයක් දුටුවේ ය. ඔහු තම සහෝදරයින්ට එය පැවසූ කල, ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර කරන්නට වූහ. ඔහු ඔවුන් අමතමින්, “මේ අහන්න! මා දුටු සිහිනය මෙයයි: අපි කෙතේ ගොයම් මිටි බඳිමින් හිටියා. මෙන්න! එකපාරට ම මගේ ගොයම් මිටිය නැගිට, කෙළින් අතට සිටගත්තා. එවිට ඔබේ ගොයම් මිටි, මගේ මිටිය වටේට රැස් වී, ඊට වැඳ වැටුණා යැ” යි පැවසී ය. එවිට ඔහුගේ සහෝදරයෝ කතා කරමින්, “සැබවින් ම අපට රජකම් කරන්න ද කල්පනාව? ඇත්තෙන් ම අප පාලනය කරන්න ද යන්නේ?” යි කීහ. ඔහුගේ සිහින නිසාත්, ඔහුගේ වචන නිසාත් ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර බඳින්නට වූහ. පසුව, ඔහු තවත් සිහිනයක් දුටුවේ ය. ඔහු එය ද තම සහෝදරයින්ට කීවේ ය. “මේ අහන්න. මා තවත් සිහිනයක් දැක්කා. මෙන්න, හිරුත්, සඳුත්, තරු එකොළහකුත් මට වැඳ වැටුණා” යි කී ය. ඔහු තම සහෝදරයින්ට මෙන් ම තම පියාටත් එය කී කල, ඔහුගේ පියා ඔහුට තරවටු කරමින්, “මොකක් ද මේ නුඹ දුටු සිහිනය? මාත්, නුඹේ මවත්, නුඹේ සහෝදරයනුත් ඇත්තට ම නුඹ ඉදිරියේ බිම වැටී වඳිනවා දැ?” යි ඇසී ය. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කරන්නට වූහ. එහෙත් ඔහුගේ පියා එය සිත්හි තබා ගත්තේ ය.

මෙයට අදාළ වීඩියෝ