උත්පත්ති 32:7-21
උත්පත්ති 32:7-21 SCV
එවිට මහත් භයට ද කැලඹීමට ද පත් යාකොබ්, තමා සමඟ සිටි පිරිස ද එළු බැටළු, ගව රංචු හා ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදී ය. ඔහු සිතුවේ, “ඒසව් අවුත්, එක් කණ්ඩායමකට පහර දුන්නහොත්, ඉතිරි අනෙක් කණ්ඩායමට බේරී යා හැකි ය” කියා ය. ඉන්පසු යාකොබ් කතා කරමින්, “මගේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මගේ පියා වූ ඊසාක්ගේ දෙවියන්වහන්ස, අහෝ ස්වාමින්වහන්ස, ‘ඔබේ රටටත්, ඔබේ නෑයින් වෙතටත් ආපසු යන්න. මම, ඔබ සඵල වන්නට සලස්සමි’ යි මට කී තැනැන්වහන්ස, ඔබේ සේවකයාට ඔබවහන්සේ පෑ මුළු දයා-ප්‍රේමයත්, මුළු විශ්වාසවන්තකමත් ලබන්නට මා සුදුස්සෙක් නො වේ. මන්ද මේ යොර්දානයෙන් මෙතෙර වෙද්දී මා වෙත වූයේ මගේ සැරයටිය පමණි. එහෙත් දැන් මම කණ්ඩායම් දෙකක් ව සිටිමි. මා අයැද සිටින්නේ මගේ සොහොයුරා අතින්, ඒසව් අතින්, මා මුදන ලෙසටයි. මන්ද ඔහු අවුත් මටත්, මේ මවුවරුන්ටත්, ඔවුන් සමඟ සිටින දරුවන්ටත් පහර දෙතියි මම ඔහුට භය වෙමි. එසේ වුව ද ඔබවහන්සේ, ‘මම සැබවින් ම ඔබ සඵල කරන්නෙමි. ඔබේ දරු පරපුර මුහුදේ වැලි මෙන් ගැණිය නො හැකි වන්නට සලස්වන්නෙමි’ කියා ඇතැ” යි පැවසී ය. ඔහු රාත්‍රිය එහි ගත කළේ ය. තමා වෙත වූ දෙයින් ඔහු තම සොයුරු ඒසව්ට තෑග්ගක් තෝරා ගත්තේ ය. එළු දෙනුන් දෙසීයක් හා එළුවන් විස්සක් ද බැටළු දෙනුන් දෙසීයක් හා බැටළුවන් විස්සක් ද කිරි-ඔටු දෙනුන් තිහක් හා උන්ගේ පැටවුන් ද එළදෙනුන් හතළිහක් හා ගොන් වස්සන් දහයක් ද බූරු දෙනුන් විස්සක් හා බූරුවන් දහයක් ද තේරූ ඔහු, එම රංචු වෙන් වෙන් වශයෙන් තම සේවකයින්ට බාර කොට, “රංචු අතර පරතරයක් ඇති ව, මට පෙරටුවෙන් යන්නැ” යි කීවේ ය. පළමුවැන්නාට ඔහු උපදෙස් දෙමින්, “මගේ සහෝදර ඒසව් ඔබට මුණ ගැසී, ‘නුඹේ හාම්පුතා කවරෙක් ද? නුඹ යන්නේ කොහේ ද? නුඹට පෙරටුව යන මේ සතුන් අයිති කවරකුට දැ?’ යි ඇසූ කල, ඔබ පිළිතුරු දෙමින්, ‘මුන් අයිති ඔබේ සේවක යාකොබ්ට ය. මේවා මගේ ස්වාමි ඒසව් වෙත එවන ලද තෑග්ගකි. අප පසුපසින් ඔහු එන්නේ ය’ කියා කිය යුතු” යි කීවේ ය. තවද ඔහු සත්ව රංචු පසු පස ගිය දෙවැන්නාට ද තෙවැන්නාට ද සෙස්සනට ද උපදෙස් දෙමින්, “නුඹලාට ඒසව් මුණ ගැසුණු කල, නුඹලාත් එය ම කිය යුතුයි. ‘අන්න, ඔබේ සේවක යාකොබ්, අපට පසුපසින් එනවා කියන්නට වග බලා ගත යුතු යැ’ යි” ද කීවේ ය. මන්ද, “මෙසේ පෙරටුවෙන් යවන තෑගි මගින් ඔහු සමඟි කර ගන්නෙමි. ඉන්පසු මා දුටු කල ඇතැම් විට ඔහු මා පිළිගනු ඇතැ” යි ඔහු සිතූ බැවිනි. මෙසේ යාකොබ්ගේ ත්‍යාග ඔහුට පෙරටුවෙන් යැවිණ. එහෙත් ඔහු රාත්‍රිය ගත කළේ කඳවුර තුළ ය.

