උත්පත්ති 3:1-16

උත්පත්ති 3:1-16 SCV

ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සාදා තිබූ කවර වන සතකුටත් වඩා සර්පයා ප්‍රයෝගකාරී විය; ඌ ස්ත්‍රිය අමතමින්, “ ‘උයනේ ඇති කිසි ගසකින් ඔබ නො කෑ යුතු ය’ කියා දෙවියන්වහන්සේ සැබවින් ම කී සේක් දැ?” යි ඇසී ය. ස්ත්‍රිය සර්පයාට පිළිතුරු දෙන්නී, “උයනේ ඇති ගස්වල පල කන්නට අපට පුළුවන. එහෙත් දෙවියන්වහන්සේ කීවේ, ‘උයන මැද ඇති ගහේ පල ඔබ නො කෑ යුතු ය; එය ස්පර්ශ නො කළ යුතු ය. නැතහොත් ඔබ මිය යනු ඇත’ කියා යැ” යි පැවසුවා ය. “සැබවින් ම ඔබ මැරෙන්නේ නැතැ” යි පැවසූ සර්පයා, “එයින් කන දවසේ ඔබේ ඇස් ඇරී, හොඳ හා නරක දැනගැනීමෙන් ඔබත් දෙවියන්වහන්සේ හා සමාන වන වග දෙවියන්වහන්සේ දන්නා සේකැ” යි ද පැවසී ය. ගහේ පල කෑමට හොඳ බැව් ද ඇසට ප්‍රිය බැව් ද නුවණ ලැබීමට ආශා විය යුතු බැව් ද දුටු ස්ත්‍රිය, එයින් ගෙන කෑවා ය. තමා සමඟ සිටි තම ස්වාමිපුරුෂයාට ද ඈ ඒවා දුන්නා ය; ඔහු ද කෑවේ ය. එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් ඇරිණි. තමන්ගේ නග්න බව ඔවුන්ට වැටහිණි. එනිසා අත්තික්කා කොළ එකට මසා ගත් ඔවුහු තමනට ඉණ වැසුම් සාදා ගත්හ. දවසේ සිහිල් වේලෙහි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසිණි. එවිට මනුෂ්‍යයාත්, ඔහුගේ භාර්යාවත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතින් උයනේ ගස් අතරේ සැඟවුණහ. එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “උයනේදී ඔබවහන්සේගේ හඬ මට ඇසුණා. මා නග්න බැවින් මා භය වුණා; එනිසා මා සැඟවුණා” යි පැවසී ය. එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක. මනුෂ්‍යයා පිළිතුරු දෙමින්, “මා සමඟ සිටින්නට ඔබවහන්සේ මට දුන් ස්ත්‍රී, ඒ ගහේ පල මට දුන්නා; මාත් කෑවා” යි කී ය. එවිට ස්ත්‍රිය ඇමතූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, “මොකක් ද මේ නුඹ කළේ?” යි පැවසූ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සර්පයා මා මුළා කළා. මාත් කෑවා” යි කීවා ය. එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සර්පයාට මෙසේ පැවසූ සේක: “තා මේ දේ කළ නිසා, “ගව-මහීෂාදී සියලු සතුනට ද සියලු වන සතුනට ද වැඩියෙන් තා ශාප ලබන්නෙහි ය. තගේ දිවි ඇති තුරා, තා බඩ ගා යමින්, දූවිල්ල කනු ඇත. තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය හා ඇගේ වංශය අතර ද මම සතුරුකම තබන්නෙමි. ඔහු, තගේ හිස පොඩි කරන්නේ ය. තා, ඔහුගේ විලුඹට පහර දෙනු ඇත.” උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්, “ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි; වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත. නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය. ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක.