උත්පත්ති 29:13-30

උත්පත්ති 29:13-30 SCV

ලාබාන් තම සහෝදරියගේ පුත් යාකොබ් ගැන ඇසූ සැණින්, ඔහු හමුවීමට වහා ගොස්, ඔහු වැලඳ, සිප, තම නිවසට ඔහු කැඳවාගෙන ආවේ ය. යාකොබ් එහිදී ඒ සියලු දේ ඔහුට පැවසී ය. එවිට ලාබාන් ඔහු අමතමින්, “සැබවින් ම නුඹ මගේ ඇට හා මස් යැ” යි කීවේ ය. යාකොබ් පුරා මසක් ඔහු සමඟ නැවතී සිටි පසු, යාකොබ් ඇමතූ ලාබාන්, “ඔබ මගේ නෑයකු වූ පමණින් මට නිකම් වැඩ කර දිය යුතු ද? ඔබේ ගාස්තුව විය යුත්තේ මොනවා ද කියා මට කියන්නැ” යි කීවේ ය. ලාබාන්ට දූවරු දෙදෙනෙක් සිටියහ. වැඩිමහල් තැනැත්තියගේ නම ලෙයා ය. බාලයාගේ නම රාඛෙල් ය. ලෙයාට තිබුණේ සිවුමැලි ඇස් ය. එහෙත්, රාඛෙල් පියකරු, රූමත් තැනැත්තියක් වූවා ය. යාකොබ් රාඛෙල්ට පෙම් බැන්දේ ය. එබැවින් ඔහු, “ඔබේ බාල දියණිය, රාඛෙල් උදෙසා මම හත් අවුරුද්දක් ඔබට වැඩ කරන්නෙමි” යි කීවේ ය. ලාබාන් පිළිතුරු දෙමින්, “මා වෙනත් කෙනකුට දෙනවාට වඩා, නුඹට ඇය දීම හොඳ ය. මා සමඟ මෙහි නවතින්නැ” යි කීවේ ය. මෙසේ, රාඛෙල් ලබා ගැනීමට යාකොබ් හත් අවුරුද්දක් මෙහෙ කළේ ය. එහෙත්, ඇය වෙත වූ ඔහුගේ ප්‍රේමය නිසා ඒවා ඔහුට පෙනුණේ ස්වල්ප දවසක් මෙනි. ඉන්පසු යාකොබ්, ලාබාන්ට කතා කොට, “මගේ සේවා කාලය මා සම්පූර්ණ කර ඇති නිසා, මගේ බිරිඳ හා එක් වන්නට ඇය මට බාර දෙන්නැ” යි ඉල්ලී ය. එවිට ලාබාන් එහි සිටි සියලු ජනයා එක් රැස් කරවා, මංගල සාදයක් පැවැත්වී ය. සවස් වූ කල ඔහු තම දියණිය වූ ලෙයා කැඳවාගෙන ගොස්, යාකොබ්ට බාර දුන්නේ ය. යාකොබ් ඇය හා සයනය කළේ ය. ලාබාන් තම දාසිය වන සිල්පා තම දියණිය වූ ලෙයාට සේවිකාවක වශයෙන් දුන්නේ ය. උදෑසන පැමිණි කල මෙන්න! එහි වූයේ ලෙයා ය. එබැවින් ලාබාන් ඇමතූ යාකොබ්, “මොකක් ද මේ නුඹ මට කළේ? මා නුඹට මෙහෙ කළේ රාඛෙල් සඳහා නො වේ ද? නුඹ මා රැවටුවේ කිම දැ?” යි ඇසී ය. ලාබාන් පිළිතුරු දෙමින්, “වැඩිමල් තැනැත්තීට පළමු බාල දූ දීග දීම අප රටේ සිරිත නො වේ. මැගේ මංගල සතිය සම්පූර්ණ කරන්න. එවිට අනෙක් තැනැත්තියත් අපි ඔබට දෙන්නෙමු. එහි හිලව්වට ඔබ කළ යුත්තේ තවත් හත් අවුරුද්දක් මට වැඩ කර දීම යැ” යි කීවේ ය. යාකොබ් එසේ කළේ ය. ඔහු ඇගේ සතිය සම්පූර්ණ කළේ ය. එවිට ලාබාන් තම දියණිය වූ රාඛෙල් ඔහුගේ බිරිඳ කොට දුන්නේ ය. ලාබාන් තම දාසිය වූ බිල්හා තම දියණිය වූ රාඛෙල්ට සේවිකාවක වශයෙන් දුන්නේ ය. යාකොබ්, රාඛෙල් සමඟ සයනය කළේ ය. ඔහු ලෙයාට වඩා රාඛෙල්ට බෙහෙවින් ප්‍රේම කළේ ය. ඔහු තවත් හත් අවුරුද්දක් ලාබාන්ට මෙහෙ කළේ ය.

උත්පත්ති 29:13-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය