උත්පත්ති 27:1-10

උත්පත්ති 27:1-10 SCV

ඊසාක් මහලු ව, ඔහුගේ ඇස් නො පෙනෙන තරමට අඳුරු ව සිටි කල, ඔහු තම වැඩිමල් පුත් ඒසව් කැඳවමින්, “මා පුතේ” යි කීවේ ය. “මම මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ඊසාක්, “බලන්න! මා දැන් මහලුයි. කවදා මැරේවිදැයි මා දන්නේ නැහැ. එබැවින් ඔබේ ආයුධ, ඔබේ දුනු-හී ගෙන, බැද්දට ගොස්, මට දඩමසක් දඩයම් කරන්න. මා ආශා කරන රසවත් කෑමක් එයින් සාදා, කෑමට ඒවා මා වෙත ගෙනෙන්න; මා මැරෙන්නට කලින් මගේ ආශිර්වාදය මා ඔබට දෙන පිණිස යැ” යි කීවේ ය. මේ අතර රෙබෙකා, ඊසාක් තම පුත් ඒසව්ට කී දේ අසා සිටියා ය. ඒසව් මසක් දඩයම් කර ගෙනෙන්නට වන වැදුණු කල, රෙබෙකා තම පුත් යාකොබ්ට කතා කොට, “මේ අහන්න! ඔබේ පියා ඔබේ සහෝදර ඒසව්ට කතා කොට, ‘මා මැරෙන්නට පෙර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මගේ ආශිර්වාදය මා ඔබට දෙන පිණිස, මට දඩමස් ගෙනැවිත්, මට කන්නට එයින් රස අහර පිළියෙල කරන්නැ’ යි කියන අයුරු මට ඇහුණා. එබැවින් දැන් මා පුත, හොඳින් අසා, මා කියන දේ කරන්න. ගාලට ගොස්, හොඳ එළු නාම්බන් දෙන්නකු මට ගෙනැවිත් දෙන්න. එවිට ඔබේ පියා ආශා කරන විදියට ම රසවත් කෑමක් මම එයින් සාදන්නම්. එවිට ඔබේ පියා මියෙන්නට කලින් ඔහුගේ ආශිර්වාදය ඔබට දෙන පිණිස, කෑමට ඒවා ඔහු ළඟට ගෙන යන්නැ” යි කීවා ය.