උත්පත්ති 24:12-27

උත්පත්ති 24:12-27 SCV

ඉන්පසු ඔහු, “අහෝ ස්වාමින්වහන්ස, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, අද දවසේ මා සඵල කළ මැනව. මගේ ස්වාමියා වූ ආබ්‍රහම්ට ආදර කරුණාව පෑ මැනව. මෙන්න, මා මේ දිය උල්පත ළඟ සිටිනවා. නගරවාසීන්ගේ දූ දැරියන් දැන් දිය ඇදීමට ඒවි. මා යම් තරුණියක අමතා, ‘කරුණාකර ඔබේ කළය පහත් කර, මට බීමට වතුර ඩිංගක් දෙන්නැ’ යි කී කල, ‘ආ බොන්න! ඔබේ ඔටුවන්ටත් මම දිය ඇද දෙන්නම්’ කියන තැනැත්තිය ඔබේ සේවක ඊසාක්ට ඔබ තේරූ සහකාරිය වේවා! මගේ ස්වාමියාට ඔබ ආදර කරුණා පා ඇති වග මම එයින් දැන ගන්නෙමි” යි පැවසී ය. ඔහු එසේ කියා නිම වන්නටත් පෙර, රෙබෙකා තම කළය තම කරේ තබා, පිටත් ව ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සහෝදර නාහෝර්ගේ බිරිඳ වූ මිල්කාගේ පුත් බෙතුවෙල්ගේ දියණියයි. ඉතා සුරූපී තරුණියක වූ ඈ කන්‍යාවකි. කිසිදු පිරිමියකු හා එක් වී නො තිබුණි. ඈ දිය උල්පතට බැස, තම කළය පුරවා, යළි ගොඩට ආවා ය. එවිට වහා ඇය හමුවට ගිය සේවකයා, “කරුණාකර ඔබේ කළෙන් මට වතුර ඩිංගක් බොන්න දෙන්නැ” යි කීවේ ය. “බොන්න මා මැතිඳුනි” යි පැවසූ ඈ, වහා කළය පහත් කර, දෝතට ගෙන, ඔහුට බොන්නට දුන්නා ය. ඈ, ඔහුට බොන්නට දුන් පසු, “ඔබේ ඔටුවන් ද බී නිම වන තුරු උන්ටත් දිය ඇද දෙන්නම්” යයි කීවා ය. මෙසේ, කළයේ වූ දිය, සතුන් දිය බොන ඔරුවේ විගස හලා, තවත් දිය අදිනු පිණිස, යළි යළිත් ළිඳට දිවූ ඈ, ඔහුගේ ඔටුවන් සියල්ලනට සෑහෙන තරමට දිය ඇද දුන්නා ය. ස්වාමින්වහන්සේ තම ගමන සඵල කළ සේක්දෝ, නො වේ දෝයි දැනගනු පිණිස, ඒ මිනිසා වචනයක්වත් කතා නො කොට ඇය දෙස පරීක්ෂාකාරී ව බලා සිටියේ ය. ඔටුවන් දිය බී නිම වූ පසු, ඒ මිනිසා ෂෙකෙල් බාගයක් බරැති රන් නාසාභරණයක් ද ඇගේ අත්වලට ෂෙකෙල් දහයක් බරැති රන් වළලු ජෝඩුවක් ද පිටතට ගෙන, ඇය අමතමින්, “ඔබ කාගේ දියණියදැයි කරුණාකර මට කියන්න. රැය ගත කරන්නට ඔබේ පියාගේ ගෙදර අපට ඉඩ තියේවි දැ?” යි ඇසී ය. ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මා නාහෝර්ට දාව, මිල්කා බිහි කළ පුත් බෙතුවෙල්ගේ දියණියයි; අප ළඟ ඕන තරම් පිදුරු හා සත්ව ආහාරත්, රැය ගත කිරීමට ඉඩකඩත් තියෙනවා” යි වැඩිදුරටත් කීවා ය. එවිට ඒ මිනිසා හිස බිමට නමා, ස්වාමින්වහන්සේට නමස්කාර කර, “මගේ ස්වාමියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මගේ ස්වාමියා වෙතැති ස්වකීය ආදර කරුණාවත්, විශ්වාසවන්තකමත් උන්වහන්සේ අත්හැර නැත. ස්වාමින්වහන්සේ මටත් මේ ගමනේදී මග පෙන්වූසේක්, මගේ ස්වාමියාගේ නෑයින්ගේ ගෙදරට ම මා යොමු කළ සේකැ” යි පැවසී ය.