දෙවියන්වහන්සේ කතා කරමින්, “ඔබේ පුත්‍රයා, ඔබ ප්‍රේම කරන ඔබේ එක ම පුත්‍රයා, ඊසාක් කැටුව, මොරීයා පෙදෙසට යන්න. එහිදී මා ඔබට පවසන කන්ද මත දවන පූජාවක් කොට ඔහු ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.
පසු දා අලුයම් උදෙන් අවදි වූ ආබ්‍රහම්, තම බූරුවා ගමනට සූදානම් කොට, තම සේවකයින් දෙදෙනකු ද තම පුත් ඊසාක් ද කැටුව, දවන යාග පූජාවට දර ද පලා ගෙන, දෙවියන්වහන්සේ ඔහුට පවසා තිබූ ස්ථානය බලා පිටත් ව ගියේ ය. තුන් වන දවසේ ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ කල, එම ස්ථානය ඈතින් දුටුවේ ය. එවිට තම සේවකයින් ඇමතූ ආබ්‍රහම්, “බූරුවා සමඟ මෙහි නැවතී සිටින්න; ළමයාත්, මාත් අතැනට යනවා. නමස්කාර කොට, අපි නැවතත් ඔබ වෙත එන්නම්” යි කීවේ ය.
ආබ්‍රහම් දවන යාග පූජාව සඳහා වූ දර ගෙන, තම පුතු ඊසාක් මත තබා, ගින්දර හා පිහිය තම අතින් ගෙන, දෙදෙන එක් ව ගමන් ගනිද්දී, “පියාණෙනි!” යි ඊසාක් තම පිය ආබ්‍රහම් ඇමතී ය.
“මම මෙහේ, මා පුත” යි ආබ්‍රහම් පිළිතුරු දුන්නේ ය.
“ගිනිත්, දරත් තියේ; ඒත් කෝ! දවන යාග පූජාවට බැටළු පැටවෙක්?” යැයි ඇසී ය.
එවිට ආබ්‍රහම්, “මා පුත, දෙවියන්වහන්සේ ම දවන යාග පූජාවට බැටළු පැටවා සපයා ගනු ඇතැ” යි පිළිතුරු දුන්නේ ය. දෙදෙනා එක් ව මෙසේ ගමන් ගත්හ.
දෙවියන්වහන්සේ ඔහුට පවසා තිබූ තැනට ළඟා වූ කල, එතැන පූජාසනයක් ගොඩ නැගූ ආබ්‍රහම් ඒ මත දර අසුරා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය මත වූ දර ගොඩ උඩ ඔහු තැබී ය. ඉන්පසු අත දිගු කළ හේ තම පුතු ඝාතන කරන්නට පිහිය අතට ගත්තේ ය. එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා, “ආබ්‍රහම්! ආබ්‍රහම්!” යැයි ස්වර්ගයේ සිට ඔහුට හඬ ගැසී ය.
එවිට ඔහු, “මම මෙහේ” යි කීවේ ය.
එවිට දූතයා, “ළමයාට අත තියන්න එපා. ඔහුට කිසිවක් කරන්න එපා. දෙවියන්වහන්සේට ඔබ භය පක්ෂපාත බව දැන් මම දනිමි. මන්ද ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා මට පූජා කිරීමට ඔබ පැකිළුණේ නැතැ” යි කීවේ ය.